ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්ත මහතා විසින් රචිත ‘පාත් ඔෆ් ෆ්‍රීඩම්’ (Path of Freedom) කෘතිය එළිදැක්වීමේ උත්සවයේදී මහාචාර්ය සුමනසිරි ලියනගේ මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව මේ වන විට ඇමරිකානු ඩොලර් මත පදනම් වූ ණය ක්‍රමයක සිරවී සිටින බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පිහිටුවීමේ මුල් අරමුණු මේ වන විට ඉටු නොවන බවත්, ඔවුන්ගේ එකම අරමුණ වී ඇත්තේ ණය හිමියන්ගේ ප්‍රතිලාභ උපරිම කිරීම මිස රටවල් සංවර්ධනය කිරීම නොවන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. 1970 දශකයේ සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගෝලීය ප්‍රාග්ධනයේ කළමනාකරුවෙකු ලෙස කටයුතු කරන බවත්, විකල්ප ආර්ථික රාමුවක් අනුගමනය කරමින් රට මෙම පරාධීනත්වයෙන් මුදාගත යුතු බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.
මෙම උත්සවයේදී දේශනයක් පැවැත්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කල්ප රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාව අධි-නව ලිබරල්වාදී අදියරකට අවතීර්ණ වී ඇති බව පෙන්වා දුන්නේය. ඔහුට අනුව 2023 මහ බැංකු පනත හරහා මහ බැංකුවේ භූමිකාව වෙනස් කර ඇති අතර, එය ජාතික සංවර්ධනයට වඩා මූල්‍ය ප්‍රාග්ධනයේ සහ විශේෂිත පන්තියක අභිලාෂයන් වෙනුවෙන් සේවය කරන බව පෙනී යයි. මහ බැංකුවේ ආර්ථික තර්කනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තර්කනය මත දැඩි ලෙස පිහිටුවීම නිසා මූල්‍ය ප්‍රතිපත්තිය කෙරෙහි රජයට ඇති සෘජු බලපෑම අඩු වී ඇත. මෑතකදී සිදුකළ පොලී අනුපාත ඉහළ දැමීම හරහා රුපියල් ට්‍රිලියන 11.9ක් වන දේශීය පෞද්ගලික ණය මත දැඩි පීඩනයක් එල්ල වන අතර, එමඟින් ණය වෙළෙඳපොළේ බිඳෙනසුලු බව තවදුරටත් වැඩි විය හැක.
මෙම අවස්ථාව සඳහා කියුබානු තානාපතිනිය, ඉරාන තානාපති කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු, හිටපු නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, හිටපු අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
















