පුත්තලම සහ ඒ අවට ප්‍රදේශ රැසක අහසේ සටහන් වූ අද්භූත ආලෝක ධාරාව හේතුවෙන් මහජනතාව තුළ ඇති වූ කුතුහලය අවසන් කරමින්, එය ග්‍රහලෝක අතර අවකාශයෙන් පෘථිවි වායුගෝලයට ඇතුළු වූ දුර්ලභ ගණයේ ගිනි බෝල උල්කාපාතයක් (Fireball Meteor) බව තාරකා විද්‍යා අංශ නිල වශයෙන් තහවුරු කර තිබේ.කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, මහාචාර්ය චන්දන ජයරත්න මහතා මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් පෙන්වා දුන්නේ මෙම ආලෝක තත්ත්වය කිසියම් අද්භූත හෝ ගුප්ත බලවේගයක් නොව විශ්වයේ සිදුවන ස්වභාවික තාරකා විද්‍යාත්මක සංසිද්ධියක් පමණක් බවයි. මෙම විද්‍යාත්මක පැහැදිලි කිරීමත් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පැවති විවිධ මතිමතාන්තර සහ මිථ්‍යා ප්‍රචාරයන් රැසකට මේ වන විට තිත තැබීමට හැකි වී ඇත.
සාමාන්‍ය උල්කාපාතයන්ට වඩා අධික දීප්තියකින් සහ විශාලත්වයකින් යුක්ත වන මෙවැනි ගිනි බෝල උල්කාපාත, පෘථිවි වායුගෝලයේ ඉහළ ස්ථරයන් වෙත ඉතා ඉහළ වේගයකින් ඇතුළු වේ.
















