මීගමුව බන්ධනාගාරයේ මෑතකදී හටගත් නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් රුපියල් කෝටි 10කට අධික දේපළ හානියක් සිදුව ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. පවතින තත්ත්වය මත බන්ධනාගාරය හිස් කිරීම සඳහා එහි රඳවා සිටින රැඳවියන් 500කට ආසන්න පිරිසක් ගාල්ල ප්‍රදේශයේ වසා දමා ඇති මහ මෝදර රෝහල් පරිශ්‍රය වෙත රැගෙන යාමට මේ වන විට සැලසුම් කර ඇත.
රැඳවියන් විසින් බන්ධනාගාරයේ රූපවාහිනී පද්ධතිය, බෙහෙත් ගබඩාව, ශරීර ස්කෑනර් යන්ත්‍රය, සී.සී.ටී.වී (CCTV) පද්ධතිය, කාර්යාල සහ මූලික ගබඩාව ඇතුළු ස්ථාන රැසකට දැඩි හානි පමුණුවා ඇත. නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ නමැත්තාගේ සමීපතමයෙකු ඇතුළු දරුණු ගණයේ රැඳවියන් 13 දෙනෙකු සහ සාමාන්‍ය රැඳවියන් 55 දෙනෙකු පසුගිය 6 වනදා රාත්‍රියේ බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවා තිබේ. රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත රැගෙන යාම සඳහා බස් රථවලට නංවා ගැනීමේදී ඔවුන් නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් පිරිස් වෙනත් බස් රථ වෙත මාරු කිරීමට ද නිලධාරීන්ට සිදුවිය.
















