27 April 2024
#සංවර්ධන

දේශීය නිෂ්පාදන කර්මාන්තය ආරක්ෂා කරනවා – කර්මාන්ත ඇමති

දේශීය නිෂ්පාදන කර්මාන්තය ආරක්ෂා කරන්න අවශ්‍ය සෑම ප්‍රතිපත්තියමය තීන්දු, තීරණයක්ම රජයක් ලෙස ගන්නා බව කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ Inco 2023” කර්මාන්ත ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ( 13) කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ශාලා පරිශ්‍රයේදී ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

සංස්ථාපිත ඉංජිනේරු ආයතනය විසින් වාර්ෂිකව පැවැත්වීමට ආරම්භ කෙරුණු මෙම Inco ප්‍රදර්ශනය ගෝලීය කොරෝනා වසංගත තත්වය හා රටේ පැවති අයහපත් තත්වය නිසා මෙවර 17 වෙනි වරට පැවැත්වෙන්නේ වසර හතරකට පසුවයි. ප්‍රදර්ශනය හෙට සහ අනිද්දා දෙදින පුරාම පැවැත්වීමට නියමිත වෙයි.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කර්මාන්ත අමාත්‍ය වරයා සදහන් කළේ නිෂ්පාදන කර්මාන්තය දියුණු නොවීම රටේ ආර්ථික සංවර්ධනය අඩාලවීමට මූලික හේතුවක් වී ඇති බවත් එනිසා රට ආර්ථිකව සංවර්ධනය කිරීමට නම් අප ආනයනය අඩුකොට, ආනයන ආදේශන නිෂ්පාදන වැඩිකොට, අපනයන නිෂ්පාදනයන්ද වැඩිකරමින් අපනයනය වැඩිකළ යුතු බවයි. එමෙන්ම වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ එලෙස සිදුකිරීමට අවශ්‍ය සියළු ප්‍රතිපත්තිමය තීන්දු තීරණ රජයක් ලෙස ගෙන රටේ දේශීය නිෂ්පාදනයන් හා කර්මාන්තකරුවන් ආරක්ෂා කරන බවයි.

මෙම අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර, කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ, අතිරේක ලේකම් එන්.ජී.පණ්ඩිතරත්න, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම ඇතුළු රාජ්‍ය නිළධාරින්, සංස්ථාපිත ඉන්ජිනේරු ආයතනයේ සභාපති ඉංජිනේරු පුෂ්පා ජිනදාස, Inco කමිටු සභාපති ඉංජිනේරු විමල් ජයවර්ධන, Inco කමිටු සභාපති ටී.සී. තිලකරත්න, විවිධ කර්මාන්ත ආයතනවල නිළධාරින් ඇතුළු සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *