27 April 2024
#දේශීය

මරණාධාර සමිතියේ රුපියල් ලක්ෂ 450 ක හොරකම් කළ නිළධාරීන්ගේ නිවෙස් ඉදිරිපිට විරෝධතා

අනුරාධපුර දිස්ත්‍රික්කයේ එප්පාවල, කටියාව යාය 01 ගම්මානයේ පවත්වා ගෙන යනු ලබන අමරණීය මරණාධාර සමිතියේ රුපියල් ලක්ෂ 450 ක මුදලක් වංචා එම සමිතියේ ඉහළ නිළධාරීන් කීප දෙනෙකු වංචා කළ බවට චෝදනා කරමින් ඔවුන්ට විරුද්ධව සමිතියේ සාමාජිකයින් පොල් ගසා උද්ඝෝෂණයක නිරත විය.

එප්පාවල, කටියාව යාය 01 අමරණීය මරණාධාර සමිතියේ සාමාජික මහතෙකු ඊයේ (30) අභාවප්‍රාප්ත වී ඇති අතර, එම මරණයට ගෙවිය යුතු මරණ පාරිතෝෂික මුදල් ගෙවීමට සමිතියේ මුදල් නොමැති වීම හේතුවෙන් හදිසි මහ සභා රැස්වීමක් අද (01) කැඳවා තිබිණි.එහිදී සමිතිය සතුව තිබූ රුපියල් ලක්ෂ 450 කට වැඩි මුදලක් නිළධාරීන් විසින් වංචා කර ඇති බවට සමිතියේ සාමාජිකයින් චෝදනා කළ අතර, අදාළ වංචාවන් සිදු කළ නිළධාරීන්ගේ නිවෙස් වෙත ගොස් සමිතියේ මුදල් ඉල්ලා උද්ඝෝෂණය කිරීමට සමිතියේ සාමාජිකයින් යෝජනා කරනු ලැබීය.

ඒ අනුව සමිතියේ 500 කට ආසන්න සාමාජික පිරිස පා ගමනින් සමිතියේ සභාපති ධූරය හෙබවූ විමලා දිසානායක නම් කාන්තාවගේ නිවස ඉදිරිපිටට ගොස් හූ කියමින් සඨන් පාඨ කියමින්, රතිඤ්ඤා දල්වමින් තම සමිතියෙන් වංචා කළ මුදල් ලබා දෙන ලෙසට ඉල්ලීම් කරනු ලැබීය. කෙසේ වෙතත් අදාළ නිවසේ නිවැසියන් කිසිවෙකුත් විරෝධතාකරුවන් හමුවට නොපැමිණි අතර, විරෝධතාකරුවන් පැයකට ආසන්න කාළයක් විරෝධතාවයෙහි නිරත වී , අනතුරුව එම සමිතියේ ණය කමිටුවේ සභාපති ධූරය හොබවන තලාව ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක උදය අබේසිංහ මහතාගේ නිවස අසලට පා ගමිනින් පැමිණ විරෝධතාවයෙහි නිරත වූහ.එම නිවසේද දොරගුළු ලා තිබූ අතර, කිසිවෙකුත් විරෝධතාකරුවන් හමුවට නොපැමිණියහ.

අනතුරුව විරෝධතාකරුවන් එම නිවස ඉදිරිපිටද රතිඤ්ඤා දල්වා පොල් ගැසූහ.

අනතුරුව අදහස් දැක්වූ විරෝධතාකරුවන් කියා සිටියේ,

කටියාව යාය 01, අමරණීය මරණාධාර සමිතියේ සභාපති ධූරය හෙබවූ විමලා දිසානායක නම් කාන්තාව හා ණය කමිටුවේ සභාපති ධූරය හෙබවූ ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක උදය අබේසිංහ යන දෙදෙනා ඇතුළු නිළධාරීන් පිරිසක් විසින් සාමාජිකයින්ට ණය ලබා දෙන බව පවසා සාමාජිකයින්ට හොර රහසේම සමිතිය සතු මුදල් රුපියල් ලක්ෂ 450 කට ආසන්න මුදලක් වංචා කර ඇති බවයි.තම සමිතියෙහි සාමාජිකයින් 500 කට ආසන්න සංඛ්‍යාවක් සිටින බවත්, එම සාමාජිකයින්ගෙන් හා මිය ගිය සාමාජිකයින්ගේ සාමාජික මුදල්, දඩ මුදල් ඇතුළු ලැබීම් සියල්ල මෙම නිළධාරීන් පිරිස විසින් සොරා ගෙන ගොස් සමිතියේ වත්කම මේ වන විට බින්දුවට බස්සා ඇතැයි පැවසීය.ඒ හේතුවෙන් ඊයේ (30) දින සිදු වූ සාමාජිකයකුගේ මරණයකට මරණ පාරිතෝෂික ලෙස සාමාජිකයකුගෙන් රුපියල් 500 බැගින් එකතු කර ගෙවීමට සිදු වූ බවද ඔවුන් පෙන්වා දුන්හ.

මේ සම්බන්ධයෙන් එප්පාවල පොලිස් ස්ථානයට පැමිණිලි කර අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇතත්, අදාළ නිළධාරීන් සමිතියේ මුදල් ලැබීම් හා වියදම් වීම් පෙන්වා දීමට අවශ්‍යය ලිපි ලේඛණ ඉදිරිපත් නොකර ඒවා වේයන් හා මීයන් කා විනාශ වී ඇතැයි පවසන බවද විරෝධතාකරුවන් පැවසීය.

වංචාවන් සිදු කළ බවට චෝදනා කළ නිළධාරීන්ගේ නිවාස පිහිටි භූමියට ඇතුළු නොවී, ඔවුන්ගේ දේපළ වලටද හානි සිදු නොකර මෙම පිරිස විරෝධතාවයෙහි නිරත වූ අතර, විරෝධතාකරුවන් කියා සිටියේ සමිතියෙන් වංචා කළ මුදල් ඔවුන්ගෙන් ලබා ගන්නා තුරු මෙම අරගලය අත් නොහරින බවයි.

අදාළ ස්ථානයන්හී ආරක්ෂාව සඳහා එප්පාවල පොලිස් ස්ථානයේ නිළධාරීන්ද පැමිණ සිටියහ.

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *