මහජන ආරක්ෂාව තහවුරු කිරීම, නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සහ පොලිස් සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ විශේෂ අවධානය යොමු වී තිබේ.
අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති මෙම කාරක සභා රැස්වීමේදී, සයිබර් අපරාධ සහ නීති විරෝධී මාර්ගගත සූදු ක්‍රියාකාරකම් මෙන්ම මූල්‍ය වංචා මැඩలීම සඳහා පොලිසිය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත. මෙහිදී නීති විරෝධී සූදු සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වෙබ් අඩවි අවහිර කිරීමට පියවර ගෙන ඇති බව නිලධාරීහු සඳහන් කළහ.
තවද, සයිබර් අපරාධ සම්බන්ධයෙන් මෙරට රැඳී සිටිමින් නීති විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වූ විදේශිකයන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගනිමින්, අදාළ තානාපති කාර්යාල සමඟ සම්බන්ධීකරණයෙන් ඔවුන් පිටුවහල් කිරීමට කටයුතු කර ඇත. විමර්ශන කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා මෘදුකාංග ඉංජිනේරුවන් සහ නීතිඥවරුන් බඳවා ගනිමින් මානව සම්පත ශක්තිමත් කිරීමටත්, නව තාක්ෂණික පද්ධති සහ මධ්‍යගත ක්‍රමවේද හඳුන්වා දීමටත් කටයුතු කරමින් පවතින බව ද මෙහිදී අනාවරණය විය.
















