සයිබර් අපරාධ, නීතිවිරෝධී ඔන්ලයින් සූදු ක්‍රීඩා සහ අන්තර්ජාල මූල්‍ය වංචා වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් ගෙන ඇති ක්ෂණික පියවර පිළිබඳව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී (Ministerial Consultative Committee) විශේෂ සමාලෝචනයක් සිදුකර තිබේ.
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති මෙම කාරක සභා රැස්වීමේදී, නීතිවිරෝධී සූදු වෙබ් අඩවි තහනම් කිරීම, සයිබර් අපරාධවලට සම්බන්ධ වී ශ්‍රී ලංකාවේ රැඳී සිටින විදේශිකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සහ ඔවුන් අදාළ තනාපති කාර්යාල හරහා පිටුවහල් කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව නිලධාරීන් පැහැදිලි කළේය. එසේම, සයිබර් අපරාධ විමර්ශන ශක්තිමත් කිරීම සඳහා මෘදුකාංග ඉංජිනේරුවන් (Software Engineers) සහ නීතිඥයන් පොලිස් සේවයට බඳවාගැනීමටත්, ක්‍රිප්ටෝකරන්සි (Cryptocurrency) සම්බන්ධ අපරාධ විමර්ශනයේදී ජාත්‍යන්තර නියෝජිතායතන සමඟ තොරතුරු හුවමාරු කරගැනීමේ ගැටලු නිරාකරණය කිරීමටත් මෙහිදී සාකච්ඡා විය.














