මීට වසර තුනකට පෙර ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නායයෑමට ලක්ව නිවාස අහිමි වූ පූනාගල, කබරගල පවුල් 50ක් සඳහා ඉදි කළ ‘නවෝදයාගම’ නිවාස ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (28) ජනතා අයිතියට පත් කෙරේ.
නායයෑමෙන් නිවාස අහිමි වීම නිසා වසර තුනකට ආසන්න කාලයක් අත්හැර දමා තිබූ තේ කර්මාන්ත ශාලාවක අනාරක්ෂිතව දිවි ගෙවූ මෙම පවුල් සඳහා පර්චස් 10 බැගින් වූ ඉඩම් සහ වර්ග අඩි 550කින් යුත් අංගසම්පූර්ණ නිවාස 50ක් රජය විසින් ඉදිකර දී ඇත. එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 32කට ආසන්න මුදලක් වැය කර ඇති අතර, නිවෙසක් ලබාදීමට අමතරව දෛනික ජීවිතය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ගෘහ හා මුළුතැන්ගෙයි උපකරණ ඇතුළු රුපියල් 175,000ක පමණ වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය භාණ්ඩ තොගයක්ද වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සහ නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගේ ප්‍රදීප් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (25) පවුල් වෙත ලබා දෙන ලදී.
















