ඉතාලියේ සර්දිනියා දූපතේ පිහිටි අතිශය සුන්දර සහ ලොව පුරා සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් වෙරළ තීරයක් වන ‘පුන්ටා මොලෙන්ටිස්’ (Punta Molentis) නැරඹීමට පැමිණෙන පිරිස් සඳහා එරට බලධාරීන් විසින් අමුතුම ආකාරයේ දැඩි නීති රීති මාලාවක් පනවා තිබේ. නවතම නියෝගයන්ට අනුව මෙම වෙරළ තීරයේදී හිරු ආවරණ හෝ කුඩ භාවිත කිරීමට අවසර ලැබෙන්නේ වයස අවුරුදු 10ට අඩු දරුවෙකු සිටින පවුල්වලට සහ වයස අවුරුදු 65ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පමණක් වන අතර, අනෙක් කිසිදු පුද්ගලයෙකුට වෙරළේ කුඩ දිග හැරීමට අවසර හිමි වන්නේ නැත.
මෙම දැඩි තීරණයට හේතු වී ඇත්තේ පසුගිය වසරේ ජූලි මාසයේදී මෙම ප්‍රදේශය මුහුණ දුන් දරුණු ලැව්ගින්නයි. එම අනතුරින් වෙරළ තීරය, වැලි කඳු සහ රථ ගාලට දැඩි හානි සිදු වූ අතර, එහි තිබූ වාහන රැසක් ද මුළුමනින්ම දැවී අළු වී ගියේය. එදා සංචාරකයින්ට පවා බෝට්ටු මඟින් පලා යාමට සිදු වූ බව වාර්තා වේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, පීඩාවට පත් පරිසර පද්ධතිය ආරක්ෂා කර අනාගත පරපුරට දායාද කිරීමේ අරමුණින් ‘විලාසිමියුස්’ (Villasimius) නගර සභාව විසින් මෙම නව සීමාවන් පනවා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.















