පුත්තලම – තිල්අඩිය ප්‍රදේශයේදී අද (24) පස්වරුවේ සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
අනුරාධපුර වන්දනා චාරිකාවක් නිම කර ආපසු මීගමුව බලා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක්, මාර්ගයෙන් ඉවතට පැන ත්‍රීරෝද රථයක ගැටී අනතුරුව අසල තිබූ ගොඩනැගිල්ලක වැදී මෙම අනතුර සිදුව ඇත. වෑන් රථය පදවා ඇත්තේ කාන්තාවක විසින් වන අතර, අනතුර සිදුවන අවස්ථාවේ එහි පුද්ගලයන් 7 දෙනෙකු ගමන් කර තිබේ.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මීගමුව දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථය හදිසියේ මාර්ගය හරහා පැමිණි මෝටර් රථයක ගැටීම වැළැක්වීමට රියැදුරු උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවයි. එහිදී පාලවිය දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක ගැටුණු වෑන් රථය, පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිශාවේ තිබූ ගොඩනැගිල්ලක වැදී නතර වී ඇත.
අනතුරෙන් තුවාල ලබා ඇත්තේ වෑන් රථයේ ගමන් කළ දෙදෙනෙකු සහ ත්‍රීරෝද රථයේ සිටි තිදෙනෙකි. ගොඩනැගිල්ලේ ගැටෙන අවස්ථාවේ එහි සිටි කාන්තාවන්ට කිසිදු හානියක් සිදුව නොමැති බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















