පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක පවතින උග්‍ර පානීය ජල හිඟය විසඳීම සඳහා ක්‍රියාත්මක කලා ඔය සහ මා ඔය ජල සම්පාදන ව්‍යාපෘතිවල පවතින ගැටලු නිරාකරණය කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි.
කල්පිටිය, පුත්තලම, මුන්දලම, මහකුඹුක්කඩවල, වන්නා තිවිල්ලුව, දංකොටුව, වෙන්නප්පුව සහ නාත්තන්ඩිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව මුහුණ දෙන ගැටලු සැලකිල්ලට ගනිමින්, අදාළ ව්‍යාපෘති කඩිනමින් ඉදිරියට ගෙන යාමට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.
ජල සම්පාදන මණ්ඩලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතන මෙම සාකච්ඡාවට එක්වූ අතර, පාරිසරික වාර්තාවලට අනුකූලව ව්‍යාපෘති කටයුතු කඩිනමින් ආරම්භ කර ජනතාවට පානීය ජලය ලබා දීමට එම ආයතන එකඟතාව පළ කර තිබේ. මෙම අවස්ථාව සඳහා පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් ෆයිසාල් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී විය.
















