කටාර් එනර්ජි (QatarEnergy) සමාගම ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ ස්ථාපිත කළ “Golden Pass” ව්‍යාපෘතිය හරහා සිය ප්‍රථම ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG) අපනයන කටයුතු සාර්ථකව ආරම්භ කර තිබේ. මෙය කටාර් රාජ්‍යය ඇමෙරිකාව තුළ සිදුකළ විශාලතම ආයෝජනයක් ලෙස සැලකේ.
කටාර් එනර්ජි සහ එක්සොන් මොබිල් (ExxonMobil) සමාගම්වල හවුල්කාරිත්වයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ පළමු නැව් තොගය ‘Al-Qaiyyah’ නමැති දැවැන්ත නෞකාව මගින් අපනයනය කර ඇත. මෙම නෞකාව ඝන මීටර් 174,000ක ධාරිතාවයකින් යුක්ත වේ. ලෝක වෙළඳපොළේ ස්වභාවික වායු සඳහා පවතින ඉහළ ඉල්ලුමට සාර්ථකව මුහුණ දීමට සහ සැපයුම් ජාලය ශක්තිමත් කිරීමට මෙම පියවර මහත් පිටුවහලක් වනු ඇතැයි කටාර් බලශක්ති අමාත්‍ය සාද් ෂෙරිඩා අල්-කාබි මහතා ප්‍රකාශ කළේය.
මෙම අපනයන කටයුතු ආරම්භ වීමත් සමඟ ගෝලීය බලශක්ති වෙළඳපොළ තුළ කටාර් රාජ්‍යයට හිමි ප්‍රමුඛස්ථානය තවදුරටත් තහවුරු වන අතර, මෙය ජාත්‍යන්තර බලශක්ති ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස දේශපාලන හා ආර්ථික විචාරකයෝ හඳුන්වති.















