රාගම ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළදී කාන්තාවකගේ හිසකෙස් කපා අඩන්තේට්ටම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රධාන සැකකාරිය ඇතුළු සැකකරුවන් හත්දෙනා ඇප මත මුදා හැරීමට වත්තල මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය නියෝග කළාය.
සැකකරුවන් එක් අයෙකුට රුපියල් එක් ලක්ෂ පනස් දහස බැගින් වූ ශරීර ඇප මත මෙලෙස මුදා හැර ඇති අතර, ඔවුන් රාගම ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන සැකකාරිය සහ එම වෙළෙඳසැලේ සේවකයින් හයදෙනෙකු බව වාර්තා වේ.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සුගත් තල්වත්තේගෙදර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, අදාළ කාන්තාව වෙළෙඳසැලේ විශ්වාසය දිනාගෙන සිටිමින් සොරකම් සිදුකිරීම නිසා ඇතිවූ ආවේගශීලී තත්ත්වයක් මත මෙම සිදුවීම වී ඇති බවයි. එම සිදුවීම පිළිබඳව තමන් කණගාටු වන බවත්, ඕනෑම කොන්දේසියක් මත සැකකරුවන්ට ඇප ලබාදෙන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් හත්දෙනාට ඇප නියම කිරීමට කටයුතු කළාය.














