ජනපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් රජය භාණ්ඩාගාරයේ පවතින මූල්‍ය ශේෂයන් සහ සංචිත පිළිබඳව සිදුකරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම සත්‍යය වසන් කරමින් සිදුකරන ඇස්බැන්දුම් ප්‍රකාශ බවට හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා බරපතල චෝදනාවක් එල්ල කරයි. කොළඹ නිපෝන් හෝටලයේ පැවති ‘ආණ්ඩුකාරවරුන්ගේ සංසදයේ’ පුවත්පත් සාකච්ඡාව අමතමින් ඒ මහතා කියා සිටියේ, ජනාධිපතිවරයා ප්‍රකාශ කරන පරිදි ඩොලර් මිලියන 1,000ක මූල්‍ය සංචිතයක් භාණ්ඩාගාරය තුළ නොමැති බවයි. බොරු කීම සහ අනුන් කළ වැඩවලට ලකුණු දාගැනීම වත්මන් පාලනයේ වෙළඳ නාමය බවට පත්ව ඇතැයි ද, ආර්ථික ක්ෂේත්‍රය කළමනාකරණය කිරීමේදී මොවුන්ගේ ආධුනික සහ අසමත් භාවය පැහැදිලිවම පෙනෙන්නට තිබෙන බව ද තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි.
හිටපු ආණ්ඩුකාරවරයා ඉදිරිපත් කළ නිල දත්තයන්ට අනුව, රනිල් වික්‍රමසිංහ රජය ඉවත්වන විට 2024 දෙසැම්බර් 31 වනදා වන විට භාණ්ඩාගාරයේ රුපියල් බිලියන 805ක මුදල් ශේෂයක් පැවති නමුත්, වත්මන් ආණ්ඩුවේ පළමු වසර අවසානයේ එනම් 2026 ජනවාරි 1 වනදා වන විට එම ශේෂය වැඩිවී ඇත්තේ රුපියල් බිලියන 110ක වැනි සුළු ප්‍රමාණයකින් පමණි. රාජ්‍ය ව්‍යාපාරයන්හි සිදුවන දරුණු කඩාවැටීම මෙම ආර්ථික විනාශයට ප්‍රධානතම හේතුව වී තිබේ. 2023 වසරේ රුපියල් මිලියන 2,835ක ලාභ ලැබූ ලංකා සීනි සමාගම වත්මන් පාලනය යටතේ 2024 වසරේදී රුපියල් මිලියන 1,944ක් ද, 2025 වසරේදී රුපියල් මිලියන 3,193ක් ද වශයෙන් දරුණු ලෙස පාඩු ලබා ඇත. අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා දුඹුරු සීනි කඩ විවෘත කරමින් මාධ්‍ය සංදර්ශන පවත්වමින් රාජ්‍ය මුදල් කාබාසිනියා කරන අතරතුර, උක් ගොවීන්ට නිසි පරිදි මුදල් නොගෙවීම නිසා ගොවීන්ට වගා කටයුතු කරගෙන යාමට නොහැකි වී ඇති බවත්, දේශපාලන බලපෑම් මත සීනි සමාගමේ සභාපතිනිය සහ ප්‍රධාන විධායක නිලධාරිනිය ඉල්ලා අස්වී ඇති බවත් හෙළිවේ.
මීට අමතරව, 2023 වසරේ රුපියල් මිලියන 3,872ක ලාභ ලැබූ ශ්‍රී ලංකන් ගුවන් සේවය, මෙම ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු 2024 දී රුපියල් මිලියන 7,595ක් සහ 2025 දී රුපියල් මිලියන 23,211ක (බිලියන 23.2) අති දැවැන්ත පාඩුවක් ලබා ඇත. මෙම පාඩුව පියවීමට පෙර භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 25ක් ශ්‍රී ලංකන් ආයතනයට ලබාදී තිබූ බව ද තෙන්නකෝන් මහතා පවසයි. ආණ්ඩුව විසින් හාල්, අල, ලූණු, පරිප්පු, හාල්මැස්සන් වැනි දෛනික අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා පනවන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද (SCL) 2024 වසරේ පැවති බිලියන 115 සිට 2025 වන විට බිලියන 165 දක්වා සියයට 43කින් ඉහළ නංවා ඇති අතර, සාමාන්‍ය ජනතාව මත බදු ගසා එකතු කරගත් එම අතිරික්ත බිලියන 39න් බිලියන 25ක්ම වෙන් කර ඇත්තේ ගුවන් යානයක් ළඟටවත් නොගිය මිනිසුන්ගේ බදු මුදලින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාඩුව පියවීමටයි. රුපියල අඛණ්ඩව බාල්දු වෙමින්, උද්ධමනය සියයට 7 දක්වා ඉහළ යමින් සහ සංසරණය වන ව්‍යවහාර මුදල් ප්‍රමාණය සියයට 26කින් වැඩි කර ඇති පසුබිමක මහ බැංකු අධිපතිවරයා තමන් ‘හොඳටම කරනවා’ යැයි පවසන ප්‍රකාශ හාස්‍යජනක බවත්, මෙහි අවසාන ප්‍රතිඵලය ලෙස ගිණිපෙට්ටියේ සිට බත් පැකට් එක, තෙල්, ගෑස් සහ විදුලිය දක්වා සෑම දේකම මිල දිනපතා ඉහළ යමින් පවතින බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.
















