ජනාධිපති අනුර කුමාර දිසානායක සහ විපක්ෂ නායක හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ඉන්දීය ආරක්ෂක අමාත්යවරයා විශේෂ ගුවන් යානයකින් දිවයිනෙන් බැහැර වෙයි
තෙදින නිල සංචාරයක් සඳහා ශ්රී ලංකාවට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්ය රාජ්නාත් සිං මහතා සිය සංචාරය සාර්ථකව අවසන් කර අද (10) දහවල් ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ අමාත්යවරයා, විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ද මුණගැසී පොදු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළේය.
එමෙන්ම, ආරක්ෂක අමාත්යාංශයේ සංචාරයක නිරත වූ ඔහු, ආරක්ෂක නියෝජ්ය අමාත්ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතා විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. එහිදී දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු වූ අතර, හදිසි අවස්ථාවලදී ඉන්දියාව ලබාදුන් සහයෝගයට ශ්රී ලංකා රජයේ කෘතඥතාව පළ කෙරිණි. මෙම සංචාරයට සමගාමීව දෙරට අතර වැදගත් ගිවිසුම් තුනකට ද අත්සන් තබා ඇත.














