1964 ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී තම නොපසුබස්නා උත්සාහයෙන් ලෝක අවධානය දිනාගත් ශ්රී ලාංකික මලල ක්රීඩක රණතුංග කරුණානන්ද මහතා අනුස්මරණය කරමින් විශේෂ සමරු තැපැල් මුද්දරයක් නිකුත් කර තිබේ.
ඊයේ (20) ජනමාධ්ය අමාත්යාංශයේදී සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් මෙම මුද්දරය නිකුත් කෙරිණි. ශ්රී ලංකාවේ ක්රීඩා උරුමය සංරක්ෂණය කිරීම සහ කරුණානන්ද මහතාගේ ජීවිත කතාව අනාගත පරපුරට හඳුන්වාදීම මෙහි අරමුණ වී තිබේ.
1964 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 10,000 ධාවන ඉසව්වේදී අනෙකුත් තරගකරුවන් තරගය අවසන් කර තිබියදීත්, කරුණානන්ද මහතා තම ධාවනය අත්නොහැර අවසානය දක්වාම දිව ගියේය. එම ක්රියාව හේතුවෙන් ඔහු “දිරිමත් පරාජිතයා” (Courageous Loser) ලෙස ලොව පුරා ගෞරවයට පාත්ර වූ අතර, ජයග්රහණය යනු පළමු ස්ථානය ලබාගැනීම පමණක් නොව තම ගමන අවසානය දක්වා ධෛර්යයෙන් නිම කිරීම ද බව ලොවට පෙන්වා දුන්නේය.
කරුණානන්ද මහතාගේ ජීවිත කතාව ජපානයේ පාසල් පෙළපොත්වලට ද ඇතුළත් කර ඇති බව අමාත්යවරයා මෙහිදී සිහිපත් කළේය. මෙම සමරු මුද්දරය මගින් ශ්රී ලංකාව සහ ජපානය අතර පවතින සංස්කෘතික සබඳතාව තවදුරටත් ශක්තිමත් වන බව ද ඔහු සඳහන් කළේය.
මෙම අවස්ථාවට ජනමාධ්ය නියෝජ්ය අමාත්ය ආචාර්ය කෞෂල්යා ආරියරත්න, ශ්රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමාටා, තැපැල් දෙපාර්තමේන්තුවේ සහ මුද්දර කාර්යාංශයේ නිලධාරීන් මෙන්ම කරුණානන්ද මහතාගේ පවුලේ සාමාජිකයෝ ද එක්ව සිටියහ.
















