විදේශ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ මරණය සම්බන්ධයෙන් පවතින සැකසංකා දුරු කිරීම සඳහා වහාම “මනෝවිද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්ෂණයක්” (Psychological Autopsy) පවත්වන ලෙස “දිනන දකුණ” දක්ෂිණාංශික දේශපාලනය ප්‍රතිස්ථාපනය කිරීමේ සාමුහිකය රජයෙන් ඉල්ලා සිටී. අද (06) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මඟින් ඔවුන් මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත.
මෙම මරණය මේ වන විට රට තුළ දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇති අතර, ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව, මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා විවිධ පරස්පර අදහස් හා සැකයන් මතු වී තිබේ. ඉතිහාසයේ විසඳුම් නොලැබුණු වසිම් තාජුඩීන් ඝාතන පරීක්ෂණය මෙන් මෙය ද සංකීර්ණ වනු ඇතැයි එම සාමුහිකය විශ්වාසය පළ කරයි. මියගිය නිලධාරියාගේ පවුලට සාධාරණය ඉටු කිරීම මෙන්ම, ඩොලර් මිලියන 2.5ක භාණ්ඩාගාර ගනුදෙනුවක් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට මෙම විශේෂ පරීක්ෂණය අත්‍යවශ්‍ය බව ඔවුහු පෙන්වා දෙති. සත්‍යය අනාවරණය කර ගැනීම සඳහා විද්‍යාව සහ නීතිය නිසි ලෙස භාවිත කරන ලෙස වත්මන් පාලනයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.














