27 April 2024
#දේශීය

රනිල්ට පුළුවන් ජේ.ආර්.ගේ පඹයා වෙන්න – අනුර

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට ජේ.ආර්.ගේ කාබන් කොපිය වීඹට නොහැකි බවත් නමුත් ඔහුට පුළුවන් ජේ.ආර් ගේ පඹයා වෙන්න පුළුවන් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (23) රත්නපුර දිස්ත්‍රික්කයේ පැවැති ජනහමුවක් අමතමිනි.

එහිදී අනුර කුමාර දිසානායක මහතා මෙසේ අදහස් පල කලේය ” ඡන්දෙට දේශපාලන පක්ෂ නාම යෝජනා බාර දෙනවා. දේශපාලන ව්‍යාපාර ජනතාව දැනුවත් කරමින් ඡන්දෙට සූදානම් වෙනවා. රනිල් මගෝඩි ලෙස ඡන්දෙ කඩාකප්පල් කරලා විනෝද වෙනවා. අපේ දරුවන්ගේ තරුණයන්ගේ පොදු ජනතාවගේ මාතෘභූමියේ වගකීම ඒ වගේ සාහසික, මුග්ධ නායකයන්ට අප පවරා දිය යුතුද? ජනතාවගේ සියලු අපේක්ෂාවන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ජනාධිපතිවරයාට තවත් දාදු සෙල්ලමක් විතරයි. මේ රටේ පාලකයන් කවදාවත් මේ රටේ ජනතාව ගැන කල්පනා කර තීන්දු ගත් අය නොවෙයි. ඒ ගොල්ලෝ කල්පනා කරන්නෙ තමන්ගේ බලය, සුඛවිහරණ සහිත ජීවිත ගැන විතරයි.

ඒ නිසාම මේ මුග්ධ පාලකයන්ගෙන් මේ රට මුදා ගැනීම සඳහා අත්නොහැරිය හැකි වගකීමක් ජාතික ජන බලවේගයටත්, පුරවැසියන්ටත් තිබෙනවා. ව්‍යවස්ථාවේ නීති උල්ලංඝනය කරමින්, මැතිවරණ කොමිසමේ ක්‍රියාකාරිත්වයට බාධා කරමින් රනිල් වික්‍රමසිංහ මේ ඡන්දෙ කඩාකප්පල් කරන්න හදනවා. මේ කඩාකප්පල් ක්‍රියාවන්ට යන්න ඔහුට සිදුවෙලා තිබෙන්නේ ඇයි? ඔහුට කිසිදු ජන බලයක් නැහැ.

ඔහු ජනාධිපතිවී මාස 8කට ආසන්න කාලයක් ගතවී තිබෙනවා. මේ රත්නපුරට ඇවිත් මේ ජනතාවගේ ප්‍රශ්න ගැන, මැණික් කර්මාන්තය මුහුණ දී ඇති ගැටලු ගැන කතා කළාද? ඔහුට ජනතාව ළඟට එන්න බැහැ. ජනාධිපති නම් ජනතාවගේ කැමැත්ත සහිත ජනතාව හමුවී ජනතාවගේ ගැටලු විසඳලා තමයි ජනතාවගේ නායකයෙක් බවට පත්වෙන්නේ. ජනතාව හමුවීමට එන්න බැරිනම්, ඔහුගේ සිතිවිලිවලට අනුව රට පාලනය කරනවා නම්, තමන්ට තමන් විතරම නම්, තමන් තීන්දු ගන්නේ තමන්ගේ බලය ගැන සිතමින් නම්, එයා එක්කෙනෙක් නම්, එයා ඒකාධිපතියෙක්. ජාතික ජන බලවේගය මේ රටේ සියලු ජනයා සමග මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී, විනාශකාරී පාලනය පරාජයට පත්කරන්න ලැහැස්තියි.

රනිල් වික්‍රමසිංහ අන්තිමටම මුද්‍රණාලයාධිපතිනිය, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳෙව්වා. මුද්‍රණාලයාධිපතිනියට කිව්වා, “සල්ලි දෙනකම් ඡන්ද පත්‍රිකා අච්චු ගහන්න එපා.” භාණ්ඩාගාර ලේකම්ට කිව්වා, “ඔයා සල්ලි දෙන්න එපා” කියලා. මේවා පාතාලයින්ගේ වැඩ. මේවා ප්‍රජාත්නත්‍රවාදී වැඩද? මේ ශිෂ්ටසම්පන්න රාජ්‍යයක වැඩද? ඔහු මේ අපරාධය කරන්නේ පාර්ලිමේන්තුවේදී හිනාවෙමින්. සිනාසෙමින් රටක්, ජනතාවක් විනාශ කරන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ යනු මේ වියරු මනසක් සහිත මිනිසෙක්. රනිල් වික්‍රමසිංහත් ඔහු වටා ඉන්න මේ චෞර වළල්ලෙනුත් මේ රට මුදා ගැනීමේ වගකීම ජාතික ජන බලවේගය බාර ගන්නවා.

ඒ වගේම ඔහුට ජන බලයක් නැහැ. එයා හුදකලාවූ පිට්ටනික ඉඳ කඩුවක් ඇඟිල්ලෙන් අරගෙන කරකවමින් ඉන්නවා. අපිවත් ඒ පිට්ටනියට කැඳවනවා. “ගනු කඩුව, එනු සටනට” ඔහු ඇරයුම් කරනවා. ජාතික ජන බලවේගය වැඩ කරන්නේ රනිල්ගේ පාළු පිට්ටනියේ නොවෙයි, කෝටි ගණනක් වූ මේ රටේ ජනතාව සමගයි ජාතික ජන බලවේගයේ සාකච්ඡාව තිබෙන්නේ. රනිල් වික්‍රමසිංහ අපි ඔයා සමග අභිමුඛ වෙන්නේ කඩුව අතට අරගෙන නොවෙයි. මේ රටේ ජනතාව සමග, ගල්කැටයක්වත් අතට අරගන්නේ නැතිව, මේ රට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්, ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන්, ඇති තරම් ලේ හළා තිබෙනවා. ගැටුම් ඇතිවෙලා තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තවත් කඳුළු ගංඟා ගලන්න ඕනෙයි කියා අපි විශ්වාස කරන්නේ නැහැ.
ජේ.ආර්. මේ රට පාලනය කළේ අවුරුදු 40කට විතර ඈත. ජේ.ආර්.ට 5/6ක බලයක් තිබ්බා. විපක්ෂය දුර්වල වෙලා තිබුණා. යම් ප්‍රමාණයක් ජනතාව ජේ.ආර්.ගේ පැත්තේ හිටියා. ඒ නිසා ජේ.ආර්.ට ඒ සෙල්ලම කරන්න පුළුවන් වුණා. රනිල්ට ජනතාව ළඟට එන්න බැහැ. රනිල්ට ජේ.ආර්.ගේ කාබන් කොපිය වෙන්න බැහැ. හැබැයි පඹයා වෙන්න පුළුවන්.

අපට මේ රට ගොඩනගන්න ඕන්නේ නැද්ද? මේ රටට අත්පත් වෙලා තියෙන තත්වය ගැන සතුටු වෙන්න පුළුවන්ද? මැණික් කර්මාන්තකරුවන්ට, ව්‍යාපාරිකයන්ට, තරුණ තරුණියන්ට, පොලීසියෙ හමුදාවේ මහත්වරුන්ට කියන්න පුළුවන්ද මේ රට ගමන් කරමින් තිබෙන දිසාව හොඳයි කියා. මේ රට ගමන් කරමින් තිබෙන දිසාව හොඳ නැත්නම්, මොකද අපි කළ යුත්තේ? අපි මේ රට හොඳ දිසාවකට හැරවිය යුතුයි. මේ වෙලා තිබෙන දේ නතර කළ යුතුයි. අලුත් මාවතකට රට හැරවිය යුතුයි. ඒකට මේ රටේ මහා ජන බලයක් ගොඩනැගිය යුතුයි. අපි ව්‍යාපාරිකයන්ට,
බී. ටීම් එකේ නායකයා කියන්නේ මොකක්ද? ජාතික ජන බලවේගය ආවොත් ව්‍යාපාර ඉවරයි. ලයිට් බිල වැඩිවෙලා, බදු වැඩිවෙලා, බැංකු පොලී අනුපාතිකය වැඩිවෙලා, බිස්නස් අඩුවෙලා, සියලු ව්‍යාපාර කඩාවැටෙමින් තිබෙනවා. සමහරු හිතනවා අපි කාර් අරගෙන රෙන්ට් එකට දෙන්න යනවා කියලා. ගෙදරක ඉන්න එළදෙන අරගෙන, උදේ සවස කිරි බෙදනවා කියලා. අද ගෙදර කාර් එකක් තියෙනවා තමයි, හැබැයි තෙල් ගහගන්න වෙන්නේ කියු.ආර්.කෝඩ් එකට. කාර් එක තියෙනවා. පාරේ යන්න බැහැ, ලීසිං වාරිකය ගෙවා ගන්න බැහැ. ගෙදර ෆ්‍රිජ් එක තියෙනවා, හැබැයි දොර අරින්නේ වාර ගණන් කරලා. රැකියාවක් කරලා පඩියක් ගත්තට එයින් භාගයකට වැඩියෙන් ආණ්ඩුව අරගන්නවා.

අපි මොකක්ද හදන්නේ. ආර්ථිකයේ ලොකු පිම්මක් ගන්න ඕනේ. කොහොමද ලොකු පිම්මක් ගන්නේ? අපේ කර්මාන්තකරුවන්ට, අපේ ව්‍යාපාරිකයන්ට කර්මාන්තකරුවන්ට මොකක්ද වෙලා තිබෙන්නේ? ආණ්ඩුවත් එක්ක මොකක් හෝ බිස්නස් එකක් කරන්න වෙනවා. ව්‍යාපාරිකයෙක් ව්‍යවසායකයෙක් අමාත්‍යාංශයත් එක්ක බිස්නස් එකක් කරන්න ඕනෙ. ඇමතිට ගාණක් දෙන්න ඕනෙ. කොතනක, කවුරු හෝ සූර්ය බල ව්‍යාපෘතියක් ආරම්භ කරනවා නම්, ඒ කාලේ ජෝන් සෙනෙවිරත්නට කීයක් හරි දෙන්න ඕනෙ. දැන්නම් කංචනට කීයක් හරි දෙන්න ඕනෙ. අනික් දවස්වල දුමින්ද දිසානායකට දෙන්න ඕනෙ. ලැබුණු ඉල්ලුම්පත් සියල්ලම මේසේ උඩ. ගතමනාව දෙනකම් දෙන්නේ නැහැ. ඕකයි ව්‍යාපාරිකයාට සිදුවී තිබෙන්නේ. කවුරු හරි අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කරන්න ගොඩනැගිල්ලක් හදනවා නම්, ගොඩනැගිල්ලේ අනුමැතිය ගන්න නගරාධිපතිට ගාණක් දෙන්න ඕනෙ. ඒ නිසා අද ව්‍යාපාරිකයාට සිදුවී තිබෙනවා නීත්‍යානුකූල නොවන ක්‍රියා අනුගමනය කරමින් තමන්ගේ ව්‍යාපාර කරගෙන යන්න.

සාමාන්‍යයෙන් ව්‍යාපාරිකයන් රේගුවෙන් බඩු නිදහස් කර ගැනීම කළ යුතුයි. අද රේගුවෙන් බඩු නීත්‍යානුකූලව නිදහස් කරගත් ව්‍යාපාරිකයාට, රේගුවෙන් පැන්නූ බඩුත් සමග වෙළඳපොළේදී තරගයකට යන්න සිදුවෙලා. ඒ නිසා ව්‍යාපාරිකයාට සිදුවෙලා තිබෙනවා රේගුවෙන් බඩු පන්නන්න. ඒ නිසා ව්‍යාපාරිකයා රේගුවෙන් බඩු පන්නාගන්නේ කොහොමද කියා කල්පනා කරමින් කටයුතු කරන්න සිදුවෙලා. ව්‍යාපාරියෝ, විදුලි බල අමාත්‍යාංශයේ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ, කර්මාන්ත අමාත්‍යාංශයේ මේ වෙලාවේ ඇති ව්‍යාපෘති මොනවාද කියා දන්නේ නැහැ. ඒවා දන්නේ ඇමති වටා ඉන්න හතර, පස්දෙනෙක් විතරයි. පසුගිය කාලෙ සමාගම්වලට විශාල ලෙස ඉඩම් දෙන්න පටන් ගත්තා. පෞද්ගලික අංශයේ ඉඩම් ගැන දන්නෙ කවුද? එස්.එම්. චන්ද්‍රසේනයි ඔහු වටා සිටි හතර, පස්දෙනා විතරයි. අනුරාධපුර පැත්තේ අක්කර ලක්ෂයක කෝමාරිකා වගාකරන්න පටන් ගත්තා. එස්.එම්. චන්ද්‍රසේනත් එක්ක හෙලිකොප්ටරෙන් ගමන් බිමන් යන කෙනයි දෙන්නා. සංචාරක කර්මාන්තය, මැණික් කර්මාන්තය, ඉඩම් පිළිබඳව, වෙනත් ඕනෑම කර්මාන්තයක් ඇමතිත් එක්ක ඇමතිවටා ඉන්න සුළු පිරිසක් අත තිබෙන්නේ. අනෙක් අය දන්නේ නැහැ. තොරතුරු දෙන්නේ නැහැ. සාධාරණ ලෙස ආණ්ඩුවෙ සෑම ව්‍යාපෘතියක්ම ලබාගැනීම සඳහා අපි සෑම කර්මාන්තකරුවෙකුටම, සෑම ව්‍යවසායකයෙකුටම අවස්ථාව හදනවා.

මේ රට ගොඩනගන්න හැකි තැන තමයි මාලිමාව. අපේ රටේ ශ්‍රම බලකායෙන් 28%ක් වැඩ කරන්නේ කෘෂිකර්මාන්තය. පවුල් ලක්ෂ 16ක් ජීවත් වෙන්නේ ගොවිතැනෙන්. ආහාර සුරක්ෂිතභාවය ඕනෑම රටක වැදගත්. අපි අපේ කෘෂිකර්මාන්තය යළි නගා සිටුවන්න ඕනෑ. ගොවියාට සහනාධාර සැපයිය යුතුයි. කෘෂිකර්මාන්තය නගා සිටුවන්න ලෝකෙ සැම රටක්ම සහනාධාර සපයනවා. අද බිත්තර මිල ඉහළ ගොස් තිබෙනවා. කුකුල් කෑම, කුකුල් පැටව් මිල ඉහළ ගියා. ආහාර, බෙහෙත් නැතිව ගියා. නිෂ්පාදනය අඩු වුණා. බිත්තර මිල ඉහළ ගියා. අද ඉන්දියාවෙන් බිත්තර ගෙන්වන්න පටන් ගෙන තිබෙනවා. මෙයට විසඳුමක් විදිහට කර්මාන්තය දියුණු කළ යුතුයි. සත්ව නිෂ්පාදනයේ යෙදෙන, කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවියාට, ජාතික නිෂ්පාදනය වැඩි කරන, ආහාර සුරක්ෂිත කරන නව සැලැස්මක් අපි හදනවා. පවුලකට තමන්ගේ ආහාර වියදම අඩුකරගන්න පුළුවන් නව කෘෂිකාර්මික පරිවර්තනයක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව හදනවා.යැයි අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *