හිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (11) පස්වරුවේ කොළඹ මල් පාර පිහිටි දේශපාලන කාර්යාලයේදී පැවැත්විණි. වර්තමාන දේශපාලන තත්ත්වය, පක්ෂ සංවිධාන කටයුතු යළි ගොඩනැඟීම සහ ඉදිරි දේශපාලන අභියෝගයන්ට පොදුවේ මුහුණ දීම සඳහා සෑම බලවේගයක් සමඟම එකට එකතු විය යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.
මෙම රැස්වීමේදී පක්ෂයේ විනය නීති රීතීවලට පටහැනිව ක්‍රියා කළ පළාත් පාලන ආයතන නියෝජිතයින් සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පක්ෂ මහලේකම් නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය විසින් ඉදිරිපත් කරන ලදී. පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා සඳහන් කළේ අනෙකුත් දේශපාලන පක්ෂ සහ සංවිධාන සමඟ ඒකාබද්ධ ප්‍රවේශයක් පැවැත්වීම පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගනිමින් වැදගත් උපායමාර්ගික තීරණ රැසකට එළැඹි බවයි.
















