ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදී ක්‍රමයට බරපතල ලෙස හානි පමුණුවමින්, විපක්ෂය ක්‍රමානුකූලව දුර්වල කිරීමට සහ විනාශ කිරීමට වත්මන් රජය දැඩි උත්සාහයක නිරතව සිටින බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති පක්ෂයේ 80 වන සංවත්සර සැමරුම් උත්සවය අමතමින් දැඩි ප්‍රකාශයක් සිදු කර තිබේ. නිදහසින් පසු මෙරට ව්‍යවස්ථාමය හා දේශපාලනික පරිණාමයේ විවිධ සන්ධිස්ථාන සිහිපත් කළ හිටපු ජනාධිපතිවරයා, 1972 සහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හඳුන්වා දීමේ අවස්ථාවන්හිදී එක්සත් ජාතික පක්ෂය විසින් රටේ ප්රජාතන්ත්රවාදී අයිතීන් සහ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා ලබා දුන් ඓතිහාසික දායකත්වය පුළුල් ලෙස අවධාරණය කළේය.
එක්සත් ජාතික පක්ෂයේ දශක අටක දේශපාලන ඉතිහාසය සහ මෙරට පාලන ක්රමයේ ප්‍රධාන පෙරළි අතර පවතින සබැඳියාව ඉස්මතු කරමින් ඔහු පෙන්වා දුන්නේ, එදා මෙට රටේ ව්‍යවස්ථාමය රාමුව ශක්තිමත් කිරීමට පක්ෂය ගත් උත්සාහයන් වර්තමාන පාලන තන්ත්රය විසින් විවිධ ක්රමෝපායන් හරහා අඩපණ කරමින් සිටින බවයි. පක්ෂය විසින් මීට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජනා කළ සංශෝධනවලට පවා නිසි ඉඩකඩක් නොලැබී ගිය පසුබිමක් තුළ, අද වන විට සමස්ත ප්රජාතන්ත්රවාදී ක්රමයම දැඩි තර්ජනයකට මුහුණ දී සිටින බවත්, පාලකයන්ගේ ඒකාධිපති ප්රවණතා හමුවේ ප්රජාතන්ත්රවාදයේ මූලධර්ම බිඳ වැටෙමින් පවතින බවත් හිටපු ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
රටේ දේශපාලන ස්ථාවරත්වය සහ බහුපක්ෂ ප්රජාතන්ත්රවාදී සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම සඳහා විපක්ෂයේ ක්‍රියාකාරීත්වය අත්‍යවශ්‍ය සාධකයක් වන වකවානුවක, එය යටපත් කිරීමට ගෙන යන රජයේ ක්‍රියාමාර්ග ඉදිරියේදී රටේ සමාජ හා දේශපාලන ක්ෂේත්රය තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයන්ට මඟපෑදිය හැකි බව දේශපාලකයන් පෙන්වා දෙති. පක්ෂයේ 80 වැනි සංවත්සරය සැමරීම සඳහා එක්ව සිටි සාමාජිකයින් සහ ආධාරකරුවන් හමුවේ රනිල් වික්‍රමසිංහ මහතා කළ මෙම අනතුරු ඇඟවීම හරහා ඉදිරි දේශපාලන අරගලයන්හි ස්වරූපය සහ ප්රජාතන්ත්රවාදී අයිතීන් වෙනුවෙන් නැවතත් බලවේග එකතු වීමේ අවශ්‍යතාවය ජාතික මට්ටමේ දැඩි කතාබහකට ලක්ව තිබේ.














