විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වූ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස්විය. මෙහිදී දෙමවුපියන්ට තම දරුවන් මත්ද්‍රව්‍ය සඳහා යොමු වී ඇත්දැයි පෞද්ගලිකව පරීක්ෂා කරගත හැකි මත්ද්‍රව්‍ය පරීක්ෂණ කට්ටල (Drug Testing Kits) ඔසුසල් හරහා පහසුවෙන් ලබාගත හැකි වන පරිදි වෙළෙඳපොළට හඳුන්වා දීමට විශේෂ අවධානයක් යොමු විය. මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීමේදී අදාළ සියලුම ආයතන පොදු ජාතික සැලැස්මකට අනුව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් මෙහිදී අවධාරණය කරන ලදී.
බන්ධනාගාරගත වූවන්ගෙන් 70%ක් පමණ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බව අනාවරණය වූ අතර, එම තදබදය අවම කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලට ගොදුරු වීම වැළැක්වීමට දැනටමත් වැඩසටහන් 225ක් ක්‍රියාත්මක කර ඇති අතර, දිවයිනම ආවරණය වන පරිදි සමීක්ෂණයක් පැවැත්වීමටත්, පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් හිමිකරුවන් මෙම ජාතික වැඩපිළිවෙළට සම්බන්ධ කර ගැනීමටත් තීරණය විය. මීට අමතරව අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොග කඩිනමින් විනාශ කිරීම සඳහා නව නීති සකස් කිරීම, නඩු භාණ්ඩ කළමනාකරණය සඳහා ස්වයංක්‍රීය පද්ධතියක් හඳුන්වා දීම සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගන්නා බහුදින ධීවර යාත්‍රා ඇතුළු වාහන රාජසන්තක කිරීමේ බලතල ශක්තිමත් කිරීමට අවධානය යොමු විය.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත අවසන් කර ඇති අතර එය කඩිනමින් ගැසට් කිරීමට නියමිතය. මෙම අවස්ථාවට මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන්, මහජන ආරක්ෂක අමාත්‍යවරයා, ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
















