සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් නීති විරෝධී ලෙස උපයාගත් මුදල්වලින් වත්කම් රැස්කර ඇති බවට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස රත්ගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට සම්බන්ධ බව කියන රුපියල් කෝටි 12කට අධික වටිනාකමකින් යුත් දේපළ රැසක් තාවකාලිකව තහනමට ලක් කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කළ මූලික විමර්ශනයෙන් අනතුරුව නඩුව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත භාරදී ඇති අතර, ඒ අනුව වැඩිදුර විමර්ශන සිදුකර ඇත.
විමර්ශනවලදී සැකකරු සහ ඔහුගේ බිරිඳගේ සහෝදරිය විසින් නීති විරෝධී ලෙස උපයාගත් බවට සැක කරන මුදල් යොදාගෙන සැකකරුගේ බිරිඳගේ මවගේ නමින් රත්ගම ප්‍රදේශයේ දේපළ කිහිපයක් මිලදීගෙන ඇති බවට අනාවරණය වී තිබේ. ඒ අතර රුපියල් ලක්ෂ 600ක් වටිනා තෙමහල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක්, රුපියල් ලක්ෂ 450ක් වටිනා අඩක් නිම කළ තෙමහල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක්, රුපියල් ලක්ෂ 50ක් වටිනා ඉඩමක් සහ රුපියල් ලක්ෂ 100ක් වටිනා තනි මහල් නිවසක් සහිත ඉඩමක් ඇතුළත් බව පොලිසිය සඳහන් කළේය.
ඒ අනුව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ විධිවිධාන අනුව අදාළ දේපළ 2026 ජූලි 24 වැනිදා සිට දින හතක කාලයක් සඳහා ක්‍රියා විරහිත කිරීමේ නියෝග නිකුත් කර ඇති අතර, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.














