රත්මලාන සහ ඉඹුල්ගොඩ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සිදුකළ විශේෂ මෙහෙයුමකදී, රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සහ ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමඟ සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් බුද්ධි තොරතුරු මත ක්‍රියාත්මක වූ මෙම වැටලීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 91 මිලිග්‍රෑම් 200ක්, ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 02ක් සහ රුපියල් 2000 නෝට්ටු 21ක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 25ත් 52ත් අතර පසුවන ඉඹුල්ගොඩ, දෙහිපිටිය, පැලෑඳ සහ රත්මලාන යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ. මෑතකාලීනව වාර්තා වූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘කස්සා’ නමැත්තා ද මෙම කල්ලියට සම්බන්ධ බව මීට පෙර අනාවරණය වූ අතර, ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කරන ස්ථාන සහ මෙම ජාවාරමේ ප්‍රධාන මෙහෙයවන්නන් සොයා ගල්කිස්ස පොලිසිය මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.












