මුළු මහත් ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයම උඩුයටිකුරු කරමින් මීට පෙර කිසිදු නිලධාරියෙකුට හිමි නොවූ අතිශය දුර්ලභ ගෝලීය අවස්ථාවක හිමිකාරිත්වය මෙරටට හිමිව තිබෙනවා. ජාත්‍යන්තර පොලිස් සහයෝගිතාවයේ මහා බලවතුන් ඒකරාශී වන තීරණාත්මක වේදිකාවක් වෙතින් මෙරටට ලැබුණු මෙම විශේෂ කැඳවීමත් සමඟ, සමස්ත ආරක්ෂක අංශවල ගෞරවය ජාත්‍යන්තරය හමුවේ ඔසවා තැබීමට අවශ්‍ය පසුබිම දැන් සැකසී අවසන්ය. ඒ අනුව අද (26) පෙරවරුවේ විශේෂ ගුවන් ගමනක නිරත වෙමින් මෙම ඓතිහාසික මෙහෙයුම වෙනුවෙන් මෙරට නියෝජනය රැගෙන පිටත්ව යාමට සියලු කටයුතු සූදානම්ව පවතී.
ප්‍රංශයේ ලියෝන් නගරයේදී ඉන්ටර්පෝල් (INTERPOL) ආයතනය මගින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන මහජන සන්නිවේදනය පිළිබඳ ගෝලීය සම්මේලනය සඳහා සහභාගී වීමට මෙලෙස පිටත්ව යන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී නීතිවේදී ෆෙඩ්රික් වුට්ලර් මහතායි. අප්‍රේල් මස 28 වනදා සිට 30 වනදා දක්වා පැවැත්වෙන මෙම දැවැන්ත සමුළුවේදී, මෑතකාලීන ආපදා තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකා පොලිසිය මහජන ආරක්ෂාව සහ සුබසාධනය උදෙසා ක්‍රියාත්මක කළ සුවිශේෂී උපායමාර්ගික මැදිහත්වීම් පිළිබඳව ඔහු විසින් විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙවැනි අතිශය වගකීම් සහගත ජාත්‍යන්තර වේදිකාවක විශේෂ දේශනයක් සඳහා ආරාධනා ලැබූ ලංකාවේ ප්‍රථම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා බවට වුට්ලර් මහතා පත්වීම මෙහි ඇති සැබෑ සුවිශේෂත්වයයි.
මෙම ගෝලීය ඇගයීම හුදෙක් පුද්ගලික ජයග්‍රහණයකට එහා ගිය, ශ්‍රී ලංකා පොලිස් සේවයේ වෘත්තීයවේදීත්වය ලෝක මට්ටමට පිළිගැනීමට ලක්වූ සන්ධිස්ථානයක් ලෙස හඳුනාගත හැකියි. ලෝකයේ ප්‍රබල රාජ්‍යයන් රැසක පොලිස් ප්‍රධානීන් හමුවේ ශ්‍රී ලාංකීය අනන්‍යතාවය සහ අත්දැකීම් බෙදාගැනීමට ලැබීම, ඉදිරි කාලයේදී මෙරට පොලිස් සේවයේ ගුණාත්මක වර්ධනයට මෙන්ම ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කිරීමට ද මහඟු පිටුවහලක් වනු නොඅනුමානය. රටක් ලෙස අප සැවොම අභිමානයෙන් යුතුව බල සිටින මෙම ඓතිහාසික අවස්ථාව, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ආරක්ෂක ප්‍රජාව තුළ නව මානයකට ඔසවා තැබීමක් බව අවධාරණය කළ යුතුය.














