මූල්‍ය ආයතනයක සේවය කරන කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප ලබා ගැනීමට කටයුතු කළ එම ආයතනයේම සේවකයකු රත්නපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රත්නපුර මහෙස්ත්‍රාත් සමන් ඩී. කේ. පරනලියනගේ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, වරද පිළිගත් සැකකරු ලබන 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
රත්නපුර මූල්‍ය ආයතනයක සේවය කරන කාන්තාවන්ගේ වැසිකිළිය තුළ ජංගම දුරකථනයක් නොපෙනෙන සේ බිත්තියේ සවිකර මෙම නිරුවත් ඡායාරූප ලබා ගැනීමට සලස්වා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. මේ සම්බන්ධයෙන් අගතියට පත්වූ කාන්තාවන් සිව්දෙනකු ළමා හා කාන්තා කාර්යාංශය වෙත සිදුකළ පැමිණිල්ලක් මත මෙම විමර්ශනය සිදු කර ඇත.
කොමඩ් එක ඉදිරිපස සිදුරු දෙකක් සහිත කොළයක් අලවා තිබීම හේතුවෙන් ඒ ගැන පරීක්ෂා කිරීමේදී, කොළයේ ඇතුළතින් ජංගම දුරකථනයක් තිබී සොයාගෙන තිබේ. පසුව එම දුරකථනය ගළවා අනෙකුත් කාන්තාවන්ට සිද්ධිය පවසා, දුරකථනයේ සිම් කාඩ්පත ගළවා පෞද්ගලික ලැප්ටොප් පරිගණකයකට දමා පරීක්ෂා කිරීමේදී මෙම කාන්තාවන්ගේ නිරුවත් දර්ශන දැක පුදුමයට පත්ව ඇත. අනතුරුව මේ පිළිබඳව රත්නපුර පොලිසිය වෙත සිදු කරන ලද පැමිණිල්ල මත සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.
රත්නපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න සුමනසිරි මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති කාන්තා උප පොලිස් පරීක්ෂක ධම්මිකා මහත්මිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, රත්නපුර පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ නිලධාරීන් විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර කරුණු වාර්තා කර ඇත.














