රාවණා ඇල්ල අභයභූමිය තුළ පිහිටි පරිසර පද්ධතියට සංවේදී ‘නිල් දිය පොකුණ’ පරිශ්‍රය ආරක්ෂා කිරීම සහ විධිමත් සංචාරක ව්‍යාපාරයක් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් විශේෂ රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනයක් පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා විසින් අත්සන් කර තිබේ.
වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 2(2) වගන්තිය යටතේ නිකුත් කරන ලද මෙම ගැසට් නිවේදනය මඟින් නිල් දිය පොකුණ නැරඹීමට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් දැඩි සීමාමානයන් පනවා ඇත. ඒ අනුව වයස අවුරුදු 10ට අඩු දරුවන්ට ගුහාව තුළට ඇතුළුවීම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර, අවුරුදු 10-18 අතර පසුවන්නන් භාරකරුවෙකු සමඟ පමණක් ඇතුළු විය යුතුය. මීට අමතරව පොකුණෙන් නෑම, ජලයට අපද්‍රව්‍ය දැමීම, අධික ලෙස ශබ්ද කිරීම, ගිනි තැබීම, දුම්පානය, මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය සහ ගුහාවේ පර්වත මතුපිට සලකුණු කිරීම හෝ වෙනස්කම් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, අමාත්‍යාංශ ලේකම් කේ.ආර්. උඩුවාවල සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් රංජන් මාරසිංහ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මෙම ගැසට් පත්‍රයට අත්සන් තබන ලදී.














