ශ්‍රී ලංකා මහ බැංකුවේ අත්තනෝමතික ක්‍රියාකලාපය පිළිබඳ සොයා බැලීම සඳහා වහාම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. ඒ මහතා පෙන්වා දෙන්නේ මේ වන විටත් ඒ සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් 40කට වැඩි පිරිසක් අත්සන් තබා ඇති බවයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී ඔහු විශේෂයෙන්ම අවධාරණය කළේ NDB ආයතනය සම්බන්ධයෙන් වහාම විධිමත් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවයි.
එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි දෝෂදර්ශනයට ලක් කළ ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.
“රජය සහ මහ බැංකුව රුපියල ස්ථාවර බව පැවසුවද, තිරය පිටුපස පවතින්නේ කෘතිම පාවීමක්. මෙහි අවසාන බර දැරීමට සිදුවන්නේ පොදු ජනතාවටයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාරිකය ලැබුණද, රජය රටත් ජනතාවත් දැඩි බදු බරකින් පීඩනයට පත් කර තිබෙනවා. මෙම ගිවිසුම් අවසන් වූ පසු ඉදිරි අනාගත වැඩපිළිවෙල කුමක්ද යන්න රජය රටට හෙළි කළ යුතුයි.”
මීට අමතරව, ලංකා බැංකුව සහ මහජන බැංකුව යන ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක පෞද්ගලීකරණය කිරීමේ රහසිගත සැලසුමක් පවතින බව ද හිටපු අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.
ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම වෙනුවෙන් වහාම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව සඳහන් කළ රවී කරුණානායක මහතා, වත්මන් පාලන බලය හොබවන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ ආණ්ඩු පක්ෂයේ සෙසු පිරිස් අතර පවතින අභ්‍යන්තර පරස්පරතා ද මෙහිදී විවේචනයට ලක් කළේය.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සියයට 20ක බදු පැනවීම් සහ ‘එල් නිනෝ’ දේශගුණික අවදානම වැනි ඉදිරියේදී පැමිණීමට නියමිත ගෝලීය අභියෝග හමුවේ රට සූදානම් කිරීමේ කිසිදු නිසි වැඩපිළිවෙලක් වත්මන් රජයට නොමැති බව රවී කරුණානායක මහතා වැඩිදුරටත් අනතුරු අඟවා සිටියේය.
















