ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් රවින්ද්‍ර තිසේරා මහතා පත් කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කරන ලද මෙම පත්වීමට අදාළ ලිපිය, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා විසින් අද (07) නාවික හමුදා මූලස්ථානයේදී නිල වශයෙන් ප්රදානය කරන ලදී. මෙම පත්වීම 2026 ජූලි 1 වැනිදා සිට බලපැවැත්වේ.
කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන රියර් අද්මිරාල් තිසේරා මහතා, 1992 වසරේදී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හරහා නාවික හමුදාවට එක්වී ඇත. ඔස්ට්‍රේලියාවේ වොලොන්ගොන් විශ්වවිද්‍යාලයෙන් සමුද්‍රීය ප්‍රතිපත්ති පිළිබඳ විද්‍යාපති උපාධිය ලබා ඇති ඔහු ඉන්දියාව, චීනය සහ ඔස්ට්‍රේලියාව යන රටවලින් උසස් හමුදා පුහුණුව ලබා තිබේ. සිය වෘත්තීය ජීවිතය තුළ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ප්‍රධාන තනතුරු රැසක් දරා ඇති ඔහු, වසර 30ක යුද සමයේ දැක්වූ නිර්භීත සේවය වෙනුවෙන් ‘රණශූර පදක්කම’ නව වතාවක් (09) සහ ‘උත්තම සේවා පදක්කම’ ද දිනාගත් දක්ෂ නිලධාරියෙකි.
















