‘දිට්වා’ සුළි කුණාටු ව්‍යසනයෙන් සිදුවූ බරපතල හානි ප්‍රතිසංස්කරණය සඳහා රජය රුපියල් බිලියන 500ක මුදලක් වෙන් කර ඇති බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය අනිල් ජයන්ත මහතා අද (27) ප්‍රකාශ කළේය.
“Rebuilding Sri Lanka” අරමුදලට 2026 අප්‍රේල් 24 වන දින වන විට විදේශීය සහ දේශීය පරිත්‍යාගශීලීන්ගෙන් ලැබී ඇත්තේ රුපියල් බිලියන 10කට ආසන්න (රුපියල් මිලියන 9,583ක්) මුදලකි. රටවල් 49ක වෙසෙන ශ්‍රී ලාංකිකයන් ඇතුළු පිරිස් මෙයට දායක වී ඇති අතර, සමස්ත හානිය හා සසඳන විට මෙය ඉතා සුළු ප්‍රමාණයක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙම සහන කටයුතු සඳහා රජය වෙන් කළ බිලියන 500ක මුදල ලබාගෙන ඇත්තේ අලුතින් මුදල් අච්චු ගැසීමකින් තොරව, රජය ඉතිරි කරගත් මුදල් මගිනි. එමගින් උද්ධමනය පාලනය කිරීමට පියවර ගෙන ඇත. සියලුම ආධාර මුදල් මහා භාණ්ඩාගාරයේ ඒකාබද්ධ අරමුදලට බැර කර ඇති බැවින් ඒවායේ ආරක්ෂාව සහ විනිවිදභාවය පිළිබඳව සහතික විය හැකි බව අමාත්‍යවරයා පැවසීය.
ව්‍යසනයෙන් විනාශ වූ නිවාස, ව්‍යාපාර සහ කෘෂිකාර්මික අංශ නැවත ගොඩනැගීම සඳහා 2028 වසර දක්වා කාලය තුළ මෙම අරමුදල් වැය කිරීමට රජය සැලසුම් කර ඇත. සහනාධාර ලබා දීමේදී සිදුවන ඇතැම් ප්‍රමාදයන් ප්‍රතිලාභීන් නිවැරදිව හඳුනා ගැනීමේ ක්‍රියාවලිය නිසා සිදුවන බවත්, එය කාර්යසාධක බලකායන් අටක් හරහා අධීක්ෂණය කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
සමාජ මාධ්‍ය හරහා පැතිර යන අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙසත්, රජය ඉහළ වගකීමකින් යුතුව මෙම කටයුතු මෙහෙයවන බවත් අමාත්‍ය අනිල් ජයන්ත මහතා අවධාරණය කළේය.














