‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්‌යසාධක බලකාය යටතේ ස්ථාපනය කරන ලද සමාජ යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ 5වන අනු කමිටුව එහි සභාපති අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්‌යාලයේදී සිව්වන වරටත් රැස්විය. දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ ව්‍යසනයෙන් පසු අධ්‍යාපන, මහජන සෞඛ්‍ය හා සමාජ සුබසාධන ඇතුළු ක්ෂේත්‍රයන්හි යටිතල පහසුකම් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මනා සම්බන්ධීකරණයකින් යුතු ජාතික ප්‍රතිසාධන යාන්ත්‍රණයක් බලමුලුගැන්වීම මෙහි මූලික අරමුණ වී තිබේ.
මෙහිදී හලාවත, නුවරඑළිය සහ මහියංගණය රෝහල් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමේ මූලික කටයුතු ආරම්භ කර ඇති බවත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සැලසුම් සකස් කර ඇති බවත් අනාවරණය විය. හානියට පත් රාජ්‍ය ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය සඳහා මූල්‍ය ප්‍රතිපාදන නිදහස් කිරීම සහ දිස්ත්‍රික්ක මට්ටමින් ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති යෝජනා පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, රාජ්‍ය ආයතන අතර පවතින සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ වැදගත්කම පෙන්වා දුන් අතර, විසඳී නොමැති ප්‍රතිපත්තිමය ගැටලු ජනාධිපති කාර්‌යසාධක බලකාය වෙත කඩිනමින් යොමු කර තීරණ ගතයුතු බව අවධාරණය කළේය. ආපදා කළමනාකරණ සේවා මධ්‍යස්ථානයේ දත්ත පද්ධති යොදාගනිමින් මෙම ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය සමීපව අධීක්ෂණය කිරීමට නියමිත අතර, පවතින අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා මෙම අනුකමිටුව එළඹෙන ජූලි මාසයේදී නැවත රැස්වීමට නියමිතය.













