පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මහවැලි ‘සී’ කලාපයේ මෙවර යල කන්නය සඳහා ක්‍රියාත්මක කළ ‘යාය 500’ වැඩසටහන හරහා අතිශය සාර්ථක හා වාර්තාගත කීරි සම්බා වී අස්වැන්නක් නෙළා ගැනීමට ගොවි ජනතාව සමත්ව තිබේ. “පුනරුදයට අරුණලු” ජාතික වැඩසටහනට සමගාමීව, අඩු වියදමකින් වැඩි අස්වැන්නක් ලබා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සෘජු මැදිහත්වීම මත දියත් කළ මෙම ව්‍යාපෘතිය සඳහා ප්‍රදේශයේ තෝරාගත් ගොවීන් 250 දෙනෙකු දායක වී ඇත.
මෙම නවීන කෘෂිකාර්මික තාක්ෂණික ක්‍රමවේද සහ නිවැරදි මඟපෙන්වීම් යටතේ සිදුකළ වගාවන්හි සමීක්ෂණ දත්තයන්ට අනුව, එක් ගොවියෙකුට දළ වශයෙන් හෙක්ටයාරයකට වී කිලෝග්‍රෑම් 11,350ක ඉතා ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හැකිවීම කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ කැපී පෙනෙන සන්ධිස්ථානයක් ලෙස සැලකේ. ගොවීන් දිරිමත් කිරීම උදෙසා මහවැලි අධිකාරිය විසින් රුපියල් 50,000ක මූල්‍ය දිරි දීමනාවක් ලබා දීමට අමතරව, ප්‍රධාන තාක්ෂණික කරුණු 10ක් ඔස්සේ ලබා දුන් වෘත්තීය මඟපෙන්වීම් මෙම සුවිශේෂී සාර්ථකත්වයට මූලිකම හේතුව වී ඇති බව ක්ෂේත්‍ර නිලධාරීන් පෙන්වා දෙයි.
අඩු නිෂ්පාදන වියදමක් යටතේ මෙලෙස වාර්තාගත අස්වැන්නක් වාර්තා වීම හරහා ගොවි ජනතාවගේ ආදායම් මට්ටම ඉහළ නැංවීමට මෙන්ම, ඉදිරියේදී රට තුළ මතු විය හැකි ආහාර සුරක්ෂිතතා අභියෝග ජය ගැනීමටත් ජාතික සහල් නිෂ්පාදන ධාරිතාව ශක්තිමත් කිරීමටත් එය මහත් පිටුවහලක් වනු ඇත. ඉදිරියේදී මෙම සාර්ථක අත්හදා බැලීම් අනෙකුත් කලාප වෙතද පුළුල් කිරීම හරහා දේශීය සහල් වෙළඳපොළ ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට අවශ්‍ය ශක්තිමත් පදනමක් වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.














