ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ “Reflect Orbital” නම් නවක අභ්‍යවකාශ සමාගම, අභ්‍යවකාශයේ සිට තමන් කැමති ඕනෑම ස්ථානයකට සූර්යාලෝකය ලබාදීමේ තාක්ෂණයක් හඳුන්වා දීමට සූදානම් වේ. SpaceX සමාගමේ හිටපු ඉංජිනේරුවරයෙකු වන බෙන් නොවැක් (Ben Nowack) විසින් ආරම්භ කරන ලද මෙම සමාගම, පෘථිවි කක්ෂයට තුනී දර්පණ (ultra-thin mirrors) සහිත චන්ද්‍රිකා පද්ධතියක් යැවීමට සැලසුම් කර ඇත.
මෙම ව්‍යාපෘතිය හරහා සූර්යාලෝකය “Programmable” සේවාවක් බවට පත් කිරීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව, වෙබ් අඩවියක් මගින් යම් ස්ථානයක GPS ඛණ්ඩාංක (coordinates) ඇතුළත් කළ විට, කිලෝමීටර් 5ක වපසරියකට ක්ෂණිකව සූර්යාලෝකය ලබාගැනීමේ හැකියාව ලැබෙනු ඇත. රාත්‍රී කාලයේදී සූර්ය බලශක්තිය නිපදවීම, ස්වාභාවික ආපදා සහන කටයුතු සහ දුෂ්කර ප්‍රදේශ ආලෝකමත් කිරීම මෙහි මූලික අරමුණු අතර වේ.
කෙසේ වෙතත්, “Sunlight-as-a-service” ලෙස හැඳින්වෙන මෙම සංකල්පය මේ වන විට දැඩි විවාදයට ලක්ව තිබේ. ලක්ෂ 2.6කට අධික ඇණවුම් සහ විශාල ආයෝජන ලැබී තිබුණද, පරිසර විද්‍යාඥයින් සහ තාරකා විද්‍යාඥයින් පවසන්නේ මෙලෙස කෘත්‍රිමව රාත්‍රිය ආලෝකමත් කිරීමෙන් නිශාචර සතුන්ගේ සහ පරිසර පද්ධතිවල සමතුලිතතාව බිඳ වැටෙන බවයි.
එමෙන්ම, සංක්‍රමණික පක්ෂීන් මංමුලා වීම, මිනිසාගේ ස්වාභාවික ජීව විද්‍යාත්මක ඔරලෝසුව (circadian rhythms) අවුල් වීම සහ මෙය නීති විරෝධී “ආලෝක දූෂණයක්” (light pollution) බවට පත්වීමේ අවදානමක් පවතින බව විද්වතුන් පෙන්වා දෙති. විවේචන මධ්‍යයේ වුවද, Reflect Orbital සමාගම සිය ප්‍රථම පරීක්ෂණ චන්ද්‍රිකා දියත් කිරීමට සූදානම් වෙමින් සිටින්නේ, රාත්‍රිය යනු මිනිසාට තෝරාගත හැකි අංගයක් බවට පත් කරමිනි.
















