27 April 2024
#දේශීය

කොවිඩ් අභියෝගය ජය ගැනීමට ආසියානු රටවල් අතර සබඳතාව ශක්තිමත් කර ගත යුතුයි – ජනපති

කොවිඩ් වසංගතය සහ එහි ප්‍රතිවිපාක සැලකිල්ලට ගනිමින් ආසියානු කලාපයේ රටවල් අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ සබඳතා වඩා ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාව දැඩිව මතුව ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (20) පෙරවරුවේ ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භ කෙරුණු “ආසියාවේ අනාගතය” (The Future of Asia) පිළිබඳ 26 වන ජාත්‍යන්තර සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමිනි.

ජපානයේ “නික්කෙයි” (Nikkei) පුවත්පත 1995 වසරේ සිට වාර්ෂිකව මෙම සමුළුව සංවිධානය කරයි. “පශ්චාත් – කොවිඩ් යුගය හැඩගැස්වීම: ගෝලිය ප්‍රතිසාධනයේ ආසියාවේ භූමිකාව” (Shaping the post – COVID era : Asia’s role in the global recovery) යන්න මෙවර එහි තේමාව වී තිබේ. ආසියානු පැසිෆික් කාලාපයේ දේශපාලන, ආර්ථික, ශාස්ත්‍රීය ගැටලු සහ ලෝකය තුළ ආසියාවේ කාර්ය භාරය පිළිබඳව නිදහස් අදහස් ඉදිරිපත් කිරීමට එකතු වන ජාත්‍යන්තර සමුළුවක් ලෙස මෙය සැලකේ.

කිසිදු ජාතියක් සූදානම්ව නොසිටි, පෙර නොවූ විරු අභියෝගයක් නිර්මණය වී ඇති මෙහොතක සියලු ජාතීන් අවබෝධයෙන් සහ විශ්වාසයෙන් එක් විය යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

වෛරසය ලෝකයේ ඕනෑම තැනක පාලනයකින් තොරව පැතිරීමට ඉඩ සැලසුව හොත් වෙනත් තැන්වල එන්නත්කරණය තුළින් දැනටමත් ලබා ඇති ප්‍රගතියට තර්ජනයක් සහ මාරාන්තික බලපෑමක් එල්ල විය හැකි බවත් නිෂ්පාදන ධාරිතාව සැලකිය යුතු ලෙස ඉහළ නැංවිය යුතු අතර, කෙටි කාලයක් තුළ ගෝලීයව එන්නත් ලබා ගත හැකි යාන්ත්‍රණයක් නිර්මාණය කර සැපයුම් කඩිනමින් ජයගත යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

වෙළෙඳාම සහ ආයෝජන සම්බන්ධයෙන් සියලු රටවල් සමග සහ විශේෂයෙන් ආසියානු කලාපයේ පාර්ශ්වකාර රටවල් සමග ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *