ඉන්දීය ප්රකෝටිපති ව්යාපාරික මුකේෂ් අම්බානිගේ රිලයන්ස් ජියෝ ප්ලැට්ෆෝම්ස් (Reliance Jio Platforms) සමාගම මුම්බායි කොටස් වෙළෙඳපොළට පිවිසෙමින් සිය පළමු ගනුදෙනු දිනයේදී කොටස් මිල 21%කට අධික ප්රමාණයකින් ඉහළ නංවා ගැනීමට සමත් වී තිබේ.
ඒ අනුව, කොටසක් ඉන්දීය රුපියල් 1,119ක නිකුතු මිලකට ඉදිරිපත් කළ ජියෝ සමාගමේ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භයේදී රුපියල් 1,358 දක්වා ඉහළ ගියේය. එමඟින් සමාගමේ වෙළෙඳපොළ ප්රාග්ධනීකරණය ඉන්දීය රුපියල් ට්රිලියන 12.5ක් පමණ දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම වර්ධනයත් සමඟ රිලයන්ස් ජියෝ ඉන්දියාවේ දෙවැනි විශාලතම ලැයිස්තුගත සමාගම බවට පත්ව ඇති අතර, භාරතී එයාර්ටෙල් සහ HDFC බැංකුවද අභිබවා ගොස් ඇතැයි වාර්තා වේ.
රිලයන්ස් ව්යාපාරික සමූහය වසර 20කට පමණ පසු සිදුකළ පළමු කොටස් නිකුතුව මෙයයි. තෙල් හා රසායනික ක්ෂේත්රයේ ප්රමුඛ සමාගමක් ලෙස ආරම්භ වූ රිලයන්ස් සමූහය, විදුලි සංදේශ, ඩිජිටල් සේවා සහ තාක්ෂණය ඇතුළු ක්ෂේත්ර රැසක ව්යාපාරික කටයුතු පුළුල් කරමින් සිටී.
මිලියන 530කට අධික ග්රාහක පිරිසකට සේවා සපයන ජියෝ සමාගමට Meta සහ Google වැනි ප්රමුඛ තාක්ෂණික සමාගම්වල ආයෝජන සහායද හිමිව තිබේ.
මුම්බායිහි ජාතික කොටස් වෙළෙඳපොළ පරිශ්රයේ පැවති කොටස් නිකුතුවේ සමාරම්භක උත්සවයට මුකේෂ් අම්බානි, ඔහුගේ බිරිඳ නීටා අම්බානි සහ දරුවන් වන ආකාශ්, ඊෂා සහ අනන්ට් අම්බානි ඇතුළු පිරිසක් සහභාගි වී ඇත.
















