27 April 2024
#දේශීය

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින්

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් දරුණු ලෙස හානි වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ කඩිනමින් ඉතිරි ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කරන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (01) දේවාස්ථානය වෙත ගිය අවස්ථාවේදී දේවස්ථානයේ පරිපාලක පියතුමන් වන කේ.ඒ. ජූඩ් රාජ් ප්‍රනාන්දු පියතුමන් හමු වු අවස්ථාවේදීය.

පියතුමන් විසින් එහිදී දේවස්ථානයට සහ අවට ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව ලබා දෙන මෙන් කරන ලද ඉල්ලීමකට අනුව මේජර් ජෙනරාල් ගුණරත්න විසින් බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා අතිරේක පොලිස් කණ්ඩායමක් ජම්පටා පොලිස් මුරපොල වෙත යොදවන ලෙස වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්නට උපදෙස් දී ඇත.

“කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු අප සැම ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ආරක්ෂාව සහ සංවර්ධනය සඳහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පුද්ගලික උනන්දුව හා කැපවීම පිළිබඳව එතුමාට ස්තූතිවන්ත වෙනවා.” ප්‍රනාන්දු පියතුමා පැවසීය.

ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව සොයා බැලූ ආරක්ෂක ලේකම්, අරමුදල් හේතුවෙන් නතර වී ඇති දේවස්ථානයේ ඉතිරි වැඩ කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව නිම කිරීමට සහයෝගය ලබා දෙන බවට ප්‍රනාන්දු පියතුමාට සහතික වී තිබේ.

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු දේවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා නාවික හමුදාපති සහ ඔහුගේ නිලධාරීන්ගේ කැපවීම හා දායකත්වය පිළිබඳව කතෝලික ප්‍රජාව කෘතඥ වන බව ප්‍රනාන්දු පියතුමා පැවසීය.
බැතිමතුන් 50 කට වැඩි පිරිසකගේ ජීවිත බිලිගත් හා තවත් සිය ගණනකට තුවාල සිදුකළ පාස්කු ඉරිදා සංහාරය පිළිබඳව පියතුමන් විසින් ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කර සිටියේය.

ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්ෂක) පී.බී.එස්.සී. නෝනිස් හා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න ආරක්ෂක ලේකම්වරයා සමග දේවස්ථානයේ සංචාරයට එක් වුහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *