විශ්‍රාමික ගුරු හා විදුහල්පතිවරුන්ගේ ජාතික සංවිධානය සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අතර සාකච්ඡාවක් අද (24) බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණ මූලස්ථානයේදී පැවැත්විණි.
වසර 29ක කාලයක පටන් විශ්‍රාමික ගුරු හා විදුහල්පතිවරුන් මුහුණ දී සිටින වැටුප් හා විශ්‍රාම වැටුප් විෂමතාවයන් සඳහා මේ වනතෙක් කිසිදු විසඳුමක් නොලැබී යාමෙන් දැඩි අසාධාරණයට ලක්ව සිටින ඔවුන් පත්ව ඇති තත්ත්වය දැනුවත් කිරීම සඳහාත්, සිදුව ඇති අසාධාරණය වෙනුවෙන් සාධාරණයක් බලාපොරොත්තුවෙන් සිදු කරන ඉදිරි ක්‍රියාමාර්ග සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ සහයෝගය සහ මැදිහත්වීම අපේක්ෂා කරමින් මෙම සාකච්ඡාව පැවැත්විණි.
දීර්ඝ කාලයක් තිස්සේ ඔවුන් මුහුණ දෙන මෙම ගැටලුව විසඳීමට මැදිහත්වීමට සහ ඒ වෙනුවෙන් අවශ්‍ය සහයෝගය ලබා දීමට ජානිපෙ නායකයා මෙහිදී පැමිණ සිටි පිරිසට පොරොන්දු විය. මෙම අවස්ථාවට විශ්‍රාමික ගුරු හා විදුහල්පතිවරුන්ගේ ජාතික සංවිධානයේ සභාපති, ලේකම්, ජාතික සංවිධායක ප්‍රමුඛ නිලධාරී මණ්ඩලයේ පිරිසක් සහභාගී වූහ.
















