‘Rich Dad Poor Dad’ (පොහොසත් තාත්තා සහ දුප්පත් තාත්තා) නමැති සුප්‍රකට මූල්‍ය උපදේශන ග්‍රන්ථයේ කතුවර රොබට් කියෝසාකි (Robert Kiyosaki) ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2ක (ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 1.7ක) ණය බරකට මැදිව සිටින බව විදේශීය මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත්, 79 වැනි වියෙහි පසුවන කියෝසාකි පෙන්වා දෙන්නේ ආදායම් උපයන දේපළ වෙළෙඳාම් (Real Estate) ක්ෂේත්රයේ ආයෝජනය කිරීම සඳහා මෙලෙස ණය මුදල් ලබාගැනීම පොහොසතුන් භාවිතා කරන සාර්ථක උපායමාර්ගයක් බවයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහුගේ හිටපු බිරිඳ වන කිම් කියෝසාකි (Kim Kiyosaki) සඳහන් කරන්නේ, මෙම ඩොලර් බිලියන 1.2ක ණය ප්‍රමාණය කියෝසාකිගේ පෞද්ගලික ණයක් නොවන අතර, එය හවුල්කරුවන් සමඟ එකතුව පවත්වාගෙන යන දේපළ ආයෝජන ව්‍යාපෘති වෙනුවෙන් ලබාගත් ණය මුදලක් බවයි. දේපළවල වටිනාකම ඉහළ යන විට ඊට සාපේක්ෂව නැවත ණය ලබාගනිමින්, එම මුදල් බදු රහිත ආදායමක් ලෙස භාවිතා කිරීම ඔහුගේ ආයෝජන ක්රමවේදයයි. එසේම, ව්‍යාපාරික අවදානම් පාලනය සඳහා එක් එක් ආයෝජනය වෙන වෙනම සීමිත වගකීම් සහිත සමාගම් (LLCs) ලෙස පවත්වාගෙන යන බව ද කියෝසාකි පවසයි.
කෙසේ වෙතත්, මූල්‍ය විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ සාමාන්‍ය ආයෝජකයන්ට මෙවැනි අධික ලෙස ණය ලබාගැනීමේ උපායමාර්ග දැඩි අවදානම් සහගත විය හැකි බවත්, නිසි කළමනාකරණයක් නොමැති වුවහොත් එය ව්‍යාපාරික බංකොලොත්භාවයට මගපාදනු ඇති බවත්ය. 1997 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද ‘Rich Dad Poor Dad’ ග්‍රන්ථය මේ වන විට ලොව පුරා පිටපත් මිලියන 44කට වඩා අලෙවි වී තිබේ.














