කතානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න සහ ඔහුගේ පෞද්ගලික ලේකම් චමීර ගල්ලගේ යන මහත්වරුන් විසින් භාවිත කරන බව කියන නිල නිවාස පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලමින් නව ජනතා පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් නායක, නාගරික මන්ත්‍රී දිනේෂ් අබේකෝන් මහතා ප්‍රමුඛ කණ්ඩායමක් විසින් ඊයේ (22) රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය වෙත නව අයදුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා.
පසුගිය වසරේ ජූලි මාසයේ සිට තොරතුරු දැනගැනීමේ පනත යටතේ මේ සම්බන්ධයෙන් අයදුම්පත් තුනක් ඉදිරිපත් කළ ද, බලධාරීන් මෙතෙක් එකදු ඉල්ලීමකට හෝ ප්‍රතිචාර දක්වා නොමැති බව අබේකෝන් මහතා පවසනවා. කතානායකවරයා සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා භාවිත කරන නිවාස සංඛ්‍යාව මෙන්ම ඉන්ධන කෝටා සහ වාහන ඇතුළු ඔවුන්ට ලැබෙන පහසුකම් පිළිබඳ තොරතුරු මෙම නව අයදුම්පත මගින් ඉල්ලා තිබෙනවා.
මෙම කාරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවෙන් ද තොරතුරු ඉල්ලා ඇතත් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ඔහු සඳහන් කරනවා. රට තුළ දැඩි කතාබහකට ලක්ව ඇති මෙම ගැටලුව සම්බන්ධයෙන් තොරතුරු සැපයීම බලධාරීන් මගහැරීම කණගාටුදායක බවත්, මෙය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත තමන් ඉදිරිපත් කරන අවසන් අයදුම්පත වන බවත් ඔහු ප්‍රකාශ කළා. බලධාරීන් මෙම හතරවන අයදුම්පතට කෙසේ ප්‍රතිචාර දක්වන්නේද යන්න තමන් ඉතා උනන්දුවෙන් අධීක්ෂණය කරන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.














