රූමස්සල සොබාකෙත ක්ෂේත්‍ර අධ්‍යයන මධ්‍යස්ථානය 2008 මැයි 01 දින ආරම්භ වූයේ මධ්‍යම පරිසර අධිකාරිය සහ ජෝන් කීල්ස් පදනම අතර පුරෝගාමී රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වයක් වශයෙනි. මෙම වසර මුලදී ජෝන් කීල්ස් පදනමේ දායකත්වය යටතේ පුළුල් ප්‍රතිසංස්කරණවලට ලක්වූ එය 2026 ජූලි 8 දින නැවතත් මධ්‍යම පරිසර අධිකාරියට නිල වශයෙන් භාරදෙන ලදී.මෙම අවස්ථාවට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම්, එම අධිකාරියේ දකුණු පළාත් අධ්‍යක්ෂතුමන් සහ සහකාර අධ්‍යක්ෂතුමන්, ජෝන් කීල්ස් සමූහයේ දේපළ හා සංචාරක අංශ සභාපති නයන මාවිල්මඩ, Cinnamon Hotels & Resorts ප්‍රධාන විධායක නිලධාරි හිෂාන් සිංහවංස, ජෝන් කීල්ස් සමූහයේ ප්‍රධාන මානව සම්පත් නිලධාරි ඉසුරු ගුණසේකර සහ සමූහ ආයතනික සමාජ වගකීම් ප්‍රධානී කාමලීන් ජයසූරිය යන මහත්ම මහත්මීන් සමඟ ජෝන් කීල්ස් පදනම සහ Cinnamon Hotels & Resorts නියෝජනය කරන තවත් නිලධාරීහු පිරිසක් ද සහභාගි වූහ. ඓතිහාසික වටිනාකමකින් යුත් දර්ශනීය රූමස්සල කන්දේ පිහිටා ඇති මෙම මධ්‍යස්ථානය පසුගිය වසර 18 පුරාම පාරිසරික අධ්‍යයන කටයුතු සඳහා පහසුකම් සලසන කේන්ද්‍රයක් ලෙස ක්‍රියාත්මක වී තිබේ. පාසල් සිසුන්, රජයේ නිලධාරීන් සහ වෙනත් පුද්ගලයන් 23,480කට අධික පිරිසක් මේ දක්වා මෙම මධ්‍යස්ථානය භාවිත කර ඇත.
මධ්‍යම පරිසර අධිකාරිය විසින් සිය ප්‍රමුඛතම පාරිසරික ක්ෂේත්‍ර මධ්‍යස්ථානය ලෙස භාවිත කරනු ලබන මෙම මධ්‍යස්ථානය හරහා ලැබෙන සේවාවන් මින් ඉදිරියට තවදුරටත් පුළුල් වනු ඇත. එමෙන්ම ඉදිරියේදී මෙය වඩාත් ස්වාධීන මධ්‍යස්ථානයක් ලෙස පවත්වා ගැනීමේ හැකියාව සොයා බැලීමට ද තීරණය වී තිබේ.














