හෙල්ල විසිකිරීමේ දක්ෂ ක්‍රීඩක රුමේශ් තරංග, ‘ඇක්සස් සොලාර්’ (Access Solar) සහ ‘ඇක්සස් රියල් එස්ටේට්’ (Access Real Estate/Residencies) ආයතනවල නිල ආයතනික සන්නාම තානාපතිවරයා ලෙස පත් කර තිබේ. 2028 ඔලිම්පික් උළෙල දක්වා ක්‍රියාත්මක වන පරිදි මෙම අනුග්‍රාහක ගිවිසුම අත්සන් කර ඇත.
තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ විශේෂ ඉල්ලීමකට අනුව මෙම හවුල්කාරිත්වය ආරම්භ වූ අතර, ඒ හරහා රුමේශ් තරංගට සහ ඔහුගේ පුහුණුකරුට අවශ්‍ය මූල්‍යමය සහ සැපයුම්මය සහාය හිමිවනු ඇත. ශ්‍රී ලාංකීය ක්‍රීඩාව ගෝලීය තලයට ඔසවා තැබීමත්, දේශීය ක්‍රීඩකයන්ගේ දක්ෂතා නංවාලීම සඳහා ආයතනික අනුග්‍රාහකත්වයේ ඇති වැදගත්කම අවධාරණය කිරීමත් මෙම සන්ධානයේ අරමුණයි.
2025 වසරේදී ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකීය පිරිමි හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයා ලෙස රුමේශ් තරංග ඉතිහාසයට එක්විය. අනාගත බලාපොරොත්තු පිළිබඳව අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ තම අවසාන ඉලක්කය 2028 ඔලිම්පික් උළෙල බවත්, ඒ අතරතුර 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සහ ආසියානු ක්‍රීඩා උළෙල කෙරෙහි අවධානය යොමු කරන බවත්ය.
ඇක්සස් සමූහ ව්‍යාපාරයේ අනුබද්ධ ආයතන වන ‘ඇක්සස් රියල් එස්ටේට්’ සහ ‘ඇක්සස් සොලාර්’ යන ආයතන මෙම හවුල්කාරිත්වය දකින්නේ ජාතික ක්‍රීඩා සංවර්ධනය වෙනුවෙන් ඔවුන් දක්වන කැපවීමේ කොටසක් ලෙසයි. දේශීය ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර මට්ටමේ තරගාවලි සඳහා පුහුණුවීමට සහ ජයග්‍රහණ ලබා ගැනීමට මෙවැනි දිගුකාලීන ආයතනික ආයෝජන ඉතා තීරණාත්මක බව එම ආයතන පෙන්වා දෙයි.
















