රුසියානු ගුවන් සීමාව සහ ගුවන් තොටුපොළවල් භාවිත කිරීම ආරක්ෂිත නොවන බවට යුක්‍රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි කළ අනතුරු ඇඟවීමෙන් අනතුරුව, විදේශීය ගුවන් සමාගම් වෙත තම ගුවන් සීමාවේ ආරක්ෂණ පියවරයන් පිළිබඳව නිල පැහැදිලි කිරීමක් කිරීමට රුසියානු ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
රුසියානු ගුවන් සේවාවල පවතින ආරක්ෂිත බව තහවුරු කරන ලෙස විදේශීය ගුවන් සමාගම් කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් මෙම පැහැදිලි කිරීම සිදුකළ බව රුසියානු ප්‍රවාහන අමාත්‍ය අන්ද්‍රේ නිකිටින් (Andrei Nikitin) ප්‍රකාශ කර ඇති බව ඉන්ටර්ෆැක්ස් (Interfax) පුවත් සේවය වාර්තා කරයි. රුසියානු ඩ්‍රෝන සහ යුධමය තත්ත්වයන් නිසා ගුවන් සීමාව භාවිත කිරීම අනතුරුදායක බවට සෙලෙන්ස්කි ප්‍රකාශ කළ ද, රුසියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය (Rosaviatsiya) සඳහන් කරන්නේ රුසියානු ගුවන් තොටුපොළවල් සහ ගුවන් සීමාව සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවයි. 2022 යුක්‍රේන යුද්ධය ඇරඹීමත් සමඟ යුරෝපා සහ ඇමෙරිකානු ගුවන් සමාගම් රුසියානු ගුවන් සීමාව මගහැරිය ද, චීනය, තුර්කිය සහ පර්සියානු ගල්ෆ් කලාපීය රටවල ගුවන් සමාගම් තවදුරටත් රුසියානු ගුවන් සීමාවන් භාවිත කරයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















