ඉරානය සහ ඇමෙරිකාව අතර සාම සාකච්ඡා පිළිබඳ අවධානය යොමු වෙමින් පවතින පසුබිමක, ඉරානය සතු සාන්ද්‍රිත යුරේනියම් තොග පිළිබඳ ගැටලුව විසඳීමට සහාය වීමට රුසියාව යළිත් ඉදිරිපත් වී තිබේ. රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් (Sergey Lavrov) ප්‍රකාශ කර ඇත්තේ ඉරානය සතු අධි සාන්ද්‍රිත යුරේනියම්, ඉන්ධන ශ්‍රේණියේ යුරේනියම් බවට පත් කිරීමට හෝ ඒවා ආරක්ෂිතව ගබඩා කිරීමට රුසියාවට සහාය විය හැකි බවයි.
ඉරානය සතු කිලෝග්‍රෑම් 460ක පමණ අධි සාන්ද්‍රිත යුරේනියම් තොගය ඉවත් කරන ලෙස ඇමෙරිකාව දිගින් දිගටම බලපෑම් කරමින් සිටියි. පසුගිය සති අන්තයේ ඉස්ලාමාබාද්හි පැවැති සාකච්ඡාවලදී යුරේනියම් සාන්ද්‍රණය කිරීම තාවකාලිකව නැවැත්වීමට දෙපාර්ශවය එකඟ වුවද, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්වා දෙන්නේ එය තාවකාලිකව නැවැත්වීම වෙනුවට සම්පූර්ණයෙන්ම අත්හිටුවිය යුතු බවයි. ඉරානයේ “සාමකාමී බලශක්ති අවශ්‍යතා සඳහා යුරේනියම් සාන්ද්‍රණය කිරීමේ අයිතිය” සුරකිමින් මෙම ගැටලුවට විසඳුම් සෙවීමට රුසියාව සූදානම් බව ලැව්රොව් වැඩිදුරටත් සඳහන් කළේය.
චීන සංචාරයකින් පසු අදහස් දැක්වූ රුසියානු විදේශ අමාත්‍යවරයා පවසා සිටියේ, හෝමුස් සමුද්‍ර සන්ධිය වැසී යාම හේතුවෙන් බලශක්ති අර්බුදයකට මුහුණ දී සිටින චීනය ඇතුළු රටවලට අවශ්‍ය බලශක්ති සැපයුම ලබාදීමට ද රුසියාව සූදානම් බවයි.














