ඇමෙරිකානු නාවික හමුදාවේ ගුවන්යානා ගෙනියන දැවැන්ත නෞකා සහ මැදපෙරදිග පිහිටි ඇමෙරිකානු යුධ නෞකා අතිශය නිරවද්‍යතාවයෙන් යුතුව විනාශ කළ හැකි සුපර්සොනික් කෲස් මිසයිල පද්ධතියක් සංවර්ධනය කිරීම සඳහා රුසියාව විසින් ඉරානය වෙත අතිනවීන උපායමාර්ගික තාක්ෂණය ලබාදීමේ රහසිගත වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව Financial Times පුවත්පත හෙළිකර තිබේ.
මොස්කව් සහ තෙහෙරාන් පාලනයන් අතර මෙතෙක් සිදුවූ උපායමාර්ගික හමුදා තාක්ෂණ හුවමාරු අතරින් වඩාත්ම බරපතලම අවස්ථාව ලෙස සැලකෙන මෙම බහු-වාර්ෂික රහසිගත ව්‍යාපෘතිය මඟින්, ඉරාන නාවික හමුදාවට සහ විප්ලවීය ආරක්ෂක බලකායට ශබ්දයේ වේගයට වඩා කිහිප ගුණයකින් ගමන් කළ හැකි නවතම පරම්පරාවේ ප්‍රහාරක ආයුධ නිපදවීමේ හැකියාව ලැබෙන බව ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර හමුදාමය තත්ත්වය හමුවේ ඉරානය විසින් සිය නාවික නාශක ප්‍රහාරක ශක්‍යතාව මෙලෙස වර්ධනය කරගැනීම, පර්සියානු ගුලිය සහ හෝමූස් සමුද්‍රසන්ධිය ආශ්‍රිතව ස්ථානගත කර ඇති ඇමෙරිකානු නාවික බලඇණිවලට එල්ල වන සෘජු ආරක්ෂක තර්ජනයක් ලෙස පෙන්ටගනය සහ වොෂින්ටන් පාලනය දැඩි අවධානයෙන් පසුවෙයි.














