රුසියාව විසින් යුක්‍රේනයේ ගිනිකොනදිග සහ ඊසානදිග ප්‍රදේශ ඉලක්ක කර එල්ල කරන ලද ප්‍රහාර මාලාවකින් අවම වශයෙන් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යුක්‍රේන බලධාරීන් පවසයි.
ගිනිකොනදිග සැපෝරිෂියා (Zaporizhzhia) නගරයට එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් දෙදෙනෙකු මියගොස් තවත් 16 දෙනෙකු තුවාල ලබා ඇති බව සැපෝරිෂියා කලාපීය ආණ්ඩුකාර අයිවන් ෆෙඩෝරොව් නිවේදනය කළේය. ඔහු විසින් සමාජ මාධ්‍ය හරහා බෙදාගත් ඡායාරූපවලින් දැක්වුණේ ප්‍රහාරයට ලක්වූ ගොඩනැගිල්ලක් ගිනිගනිමින් පවතින අයුරු සහ නේවාසික ප්‍රදේශයක කොටසක් සුන්බුන් බවට පත්ව ඇති අයුරුයි.
එමෙන්ම, රුසියාවේ නිරන්තර ප්‍රහාරවලට ලක්වන ඊසානදිග කාර්කිව් (Kharkiv) කලාපයේ ස්මියිව් (Zmiiv) නගරයට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් එක් පුද්ගලයෙකු මියගොස් ළමයින් දෙදෙනෙකු ඇතුළු අට දෙනෙකු තුවාල ලබා ඇති බව කලාපීය ආණ්ඩුකාර ඔලෙග් සිනෙහුබොව් ප්‍රකාශ කළේය. කාර්කිව් ප්‍රදේශයේ තවත් උතුරු ප්‍රජාවක වැසියන් ඉවත් කිරීමට උත්සාහ කරමින් සිටි පොලිස් නිලධාරියෙකු ද රුසියානු ප්‍රහාරයකින් මියගිය බව ප්‍රාදේශීය පොලිසිය පවසයි.
රුසියාව සහ යුක්‍රේනය යන දෙපාර්ශවයම වසර හතරකට අධික කාලයක් තිස්සේ පවතින මෙම ගැටුමේදී සිවිල් වැසියන් ඉලක්ක කර පහරදීම ප්‍රතික්ෂේප කරයි. කෙසේ වෙතත්, යුක්‍රේනයේ විවිධ නගර ආශ්‍රිතව සිවිල් වැසියන් ඉලක්ක කර සිදුවන ප්‍රහාර වාර්තා වීම අඛණ්ඩව සිදුවෙමින් පවතී.
















