පසුගිය බදාදා රාත්‍රියේ රුසියාව විසින් යුක්‍රේනය පුරා එල්ල කරන ලද ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවකින් අවම වශයෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යුක්‍රේන බලධාරීන් අද (16) නිවේදනය කළේය. කියෙව් (Kyiv) අගනුවරට එල්ල වූ ප්‍රහාරයෙන් 12 හැවිරිදි පිරිමි දරුවෙකු සහ 35 හැවිරිදි කාන්තාවක මියගොස් ඇති අතර, තවත් 18 දෙනෙකු තුවාල ලබා තිබේ. ඩිනිප්‍රෝ (Dnipro) නගරයේ ද එක් අයෙකු මියගොස් ගොඩනැගිලි රැසක් ගිනිගෙන විනාශ වී ඇති බව වාර්තා වෙයි.
මේ අතර, රුසියාවේ ක්‍රස්නෝඩර් (Krasnodar) ප්‍රදේශයට යුක්‍රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් වයස අවුරුදු 5 සහ 14 ක දරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බව රුසියානු පාර්ශවය පවසයි. වසර පහක් පුරා ඇදී යන මෙම යුද්ධය අවසන් කිරීම සඳහා වූ සාම සාකච්ඡා, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය මැදපෙරදිග යුද්ධය වෙත යොමු වීමත් සමඟ මේ වන විට අඩාල වී තිබේ. යුක්‍රේනය ස්ථාවර සටන් විරාමයක් ඉල්ලා සිටියද, රුසියාව පළමුව සාම ගිවිසුමකට එළඹිය යුතු බවට අවධාරණය කිරීම සාකච්ඡා බිඳ වැටීමට හේතු වී ඇත.














