රුසියාවට අයත් කලිනින්ග්රෑඩ් උපායමාර්ගික කලාපය සෙසු රුසියානු භූමියෙන් වෙන් කිරීමට හෝ නාවික හා ගුවන් අවහිරතාවක් ක්රියාත්මක කිරීමට උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ (NATO) කිසියම් සාමාජික රටක් උත්සාහ කළහොත්, එම භූමිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් න්යෂ්ටික අවි ඇතුළු සියලු බලය භාවිත කරන බවට මොස්කව් පාලනය නිල වශයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. යුරෝපා රටවල් කිහිපයක පිහිටි රුසියානු තානාපති කාර්යාල ඔස්සේ මෙම දැඩි ස්ථාවරය ප්රකාශයට පත් කර ඇති අතර, පෝලන්තය සහ ලිතුවේනියාව අතර පිහිටි මෙම ප්රදේශය රුසියාවේ ප්රධාන බෝල්ටික් නාවික මූලස්ථානය මෙන්ම න්යෂ්ටික බලය සහිත මිසයිල පද්ධති රඳවා ඇති අතිශය සංවේදී කලාපයක් වීම හේතුවෙන් මෙම තත්ත්වය යුරෝපීය ආරක්ෂක වාතාවරණය තවත් උණුසුම් කර තිබේ.
රුසියාව යුරෝපය අස්ථාවර කිරීමට සැරසෙන බවට යුරෝපා නායකයන් නඟන චෝදනා තරයේ ප්රතික්ෂේප කර ඇති ක්රෙම්ලින් මාලය, නේටෝව විසින් ගෙනයන ආක්රමණශීලී ක්රියාමාර්ග භයානක ක්රීඩාවක් බවට පෙන්වා දී ඇත. කෙසේ වෙතත්, රුසියානු තර්ජන තරයේ හෙළා දකින නේටෝ සංවිධානය අවධාරණය කරන්නේ තමන් ආරක්ෂක සන්ධානයක් පමණක් බවත්, නේටෝවට අයත් සෑම බිම් අඟලක්ම ආරක්ෂා කිරීමට අවශ්ය පූර්ණ සූදානම සහ ශ්රේෂ්ඨ ශක්තිය තවදුරටත් පවත්වා ගනිමින් යුක්රේනය වෙත ලබා දෙන සහයෝගය කිසිදු අයුරකින් අත්නොහරින බවත්ය.
මෙම වර්ධනයන්ත් සමඟ රුසියාව සහ නේටෝව අතර පවතින භූ-දේශපාලනික අර්බුදය තවත් උග්ර අතට හැරී ඇති අතර, ඉදිරියේදී බෝල්ටික් කලාපයේ හමුදාමය උණුසුම තවදුරටත් ඉහළ යාමේ දැඩි අවදානමක් මතු වී තිබේ. දෙපාර්ශ්වයම තම උපායමාර්ගික ස්ථාවරයන් දැඩි කිරීම හේතුවෙන් ගෝලීය ආරක්ෂාව සහ සාමය අර්බුදයකට ලක්වීමේ බරපතල අවදානමක් පවතින බව ජාත්යන්තර දේශපාලන විචාරකයෝ අනතුරු අඟවති.
















