යුක්‍රේනයේ යෝල්ටා යුරෝපීය උපායමාර්ගික සමුළුවට සහභාගී වී ආපසු පැමිණෙමින් සිටි හිටපු ඇමෙරිකානු සීඅයිඒ අධ්‍යක්ෂ ඩේවිඩ් පෙට්‍රේයස්, හිටපු බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සහ හිටපු ස්වීඩන අගමැති කාල් බිල්ඩ්ට් ඇතුළු විදේශීය රාජ්‍යතාන්ත්‍රිකයින් පිරිසක් ඉලක්ක කරගනිමින් රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති බවට යුක්‍රේන රාජ්‍ය දුම්රිය සේවය ප්‍රකාශ කරයි.
පෝලන්ත සීමාව ආසන්නයේ පිහිටි යාහෝඩින් දුම්රිය ස්ථානයේදී සිදුවූ මෙම ප්‍රහාරයේදී රුසියානු ජෙට් බලගැන්වූ ඩ්‍රෝනයක් මගින් මගී දුම්රියක එන්ජිමට පහරදී ඇති අතර, ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී හිටපු CIA අධ්‍යක්ෂ පෙට්‍රේයස් මහතා අදාළ දුම්රිය ස්ථානයේ වෙනත් දුම්රියක රැඳී සිට ඇත. කෙසේවෙතත්, දුම්රිය කාලසටහන් සක්‍රීයව වෙනස් කිරීම සහ පූර්ව අනතුරු ඇඟවීම් හේතුවෙන් මගීන් සහ රාජ්‍යතාන්ත්‍රිකයින් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට හැකිවූ බැවින් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැත. මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් බොරිස් ජොන්සන් ප්‍රකාශ කර ඇත්තේ මෙය සාමාන්‍ය වැසියන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් බියවැද්දීමට රුසියාව මගින් දියත් කළ අහේතුක ප්‍රහාරයක් බවයි.














