හම්බන්තොට දිස්ත්‍රික්කයේ පදිංචි විගමනික ශ්‍රමිකයින්ගේ පාසල් අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය ලබන දූ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ විශේෂ උත්සවය ඊයේ (ජූනි 21) තංගල්ලේදී ඉතා සාර්ථකව පවත්වා තිබෙනවා. හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණේ තංගල්ල පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ, දකුණු පළාත් විගමනික සම්පත් මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදීයි. විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම සුභසාධන වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ විදෙස්ගත ශ්‍රමිකයන්ගේ දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා පුළුල් කර ඔවුන්ගේ අනාගතය ශක්තිමත් කිරීමයි.
කාර්යාංශයේ නිසි පරිදි ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ දක්ෂ දරුවන් ඇගයීම වෙනුවෙන් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහනේදී, මෙවර සුදුසුකම් ලැබූ ශිෂ්‍යත්වලාභීන් 43 දෙනෙකු සඳහා රුපියල් මිලියන 1.18ක (රුපියල් 1,180,000) මුළු වටිනාකමකින් යුත් මූල්‍ය ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරුණා. එහිදී පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත් වූ සිසුන් 28 දෙනෙකු වෙනුවෙන් එක් අයෙකුට රුපියල් 25,000 බැගින් රුපියල් 700,000ක මුදලක් පිරිනැමූ අතර, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සමත් වූ සිසුන් 12 දෙනෙකු සඳහා එක් අයෙකුට රුපියල් 30,000 බැගින් රුපියල් 360,000ක ශිෂ්‍යත්ව ලබා දීමට කටයුතු කර තිබෙනවා. මීට අමතරව, අ.පො.ස. උසස් පෙළ විභාගය ද විශිෂ්ට ලෙස සමත්ව විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතනවල වැඩිදුර අධ්‍යාපනය හදාරන සිසුන් තිදෙනෙකු වෙනුවෙන් එක් අයෙකුට රුපියල් 40,000 බැගින් රුපියල් 120,000ක ශිෂ්‍යත්ව ද මෙහිදී නිල වශයෙන් පිරිනමනු ලැබුවා.
















