පියාසර කරමින් තිබූ රයන්එයාර් (Ryanair) සමාගමට අයත් මගී ගුවන් යානයක ජනේලයක් ගැලවී යාම හේතුවෙන්, එහි ගමන් ගත් වයෝවෘද්ධ මගියෙකු යානයෙන් පිටතට ඇදී යාමේ අතිශය භයානක අනතුරක් සිදුවී තිබේ. මෝල්ටා එයාර් (Malta Air) සමාගම විසින් මෙහෙයවනු ලැබූ මෙම ගුවන් යානය ග්‍රීසියේ තෙසලෝනිකි (Thessaloniki) නුවර සිට ජර්මනියේ මෙමින්ගන් (Memmingen) බලා පියාසර කරමින් තිබියදී මෙම අනතුරට මුහුණ දී ඇත. යානයේ ජනේලය ගැලවී යාමත් සමඟ එහි වායු පීඩනය ක්ෂණිකව පහත වැටී ඇති අතර ඔක්සිජන් මුහුණු ආවරණ ද ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වී තිබේ.
එහි සිටි මගීන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, වයස අවුරුදු 60ක පමණ පසුවන මගියෙකුගේ හිස සහ උරහිස් ප්‍රදේශය ජනේලයෙන් පිටතට ඇදී ගොස් තිබූ බවත්, අසල සිටි අනෙකුත් මගීන් දැඩි වෙහෙසක් ගෙන ඔහුව නැවත යානය තුළට ඇද ගත් බවත්ය. සිදුවීමෙන් පසු ගුවන් යානය වහාම නැවත ග්‍රීසිය වෙත හරවා ආරක්ෂිතව ගොඩබස්වා ඇති අතර, පීඩාවට පත් මගියාට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට පියවර ගෙන ඇත. ග්‍රීක සහ මෝල්ටා ගුවන් සේවා බලධාරීන් මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
















