සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී, ගංවතුර අවදානම් සහිත කලාප සඳහා ජීවිතාරක්ෂක කට්ටල සහ ඔරු අඟුල් 10ක් ප්‍රදානය කෙරිණි. 2025 වර්ෂය සඳහා දැනටමත් රුපියල් ලක්ෂ 200ක් වැය කරමින් ඔරු අඟුල් 40ක් බෙදා දී ඇති අතර, 2026 වර්ෂය තුළ ඔරු අඟුල් 90ක් දක්වා මෙම ප්‍රමාණය ඉහළ නැංවීමට පළාත් සමාජ සේවා අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
මෙහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාරවරිය සඳහන් කළේ, කළු ගඟ පිටාර ගැලීමෙන් රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලට සිදුවන බලපෑම අවම කිරීම සඳහා “වියළි වේලි” (Dry Dam) ක්‍රමය ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන ඇති බවයි. එම ව්‍යාපෘතියේ සැලසුම් කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 500ක මුදලක් වෙන් කර ඇති බවත්, ලබා දෙන සම්පත් නිසි ලෙස ආරක්ෂා කර ගන්නා ලෙසත් ඇය වැඩිදුරටත් ඉල්ලා සිටියාය.
මෙම අවස්ථාවට පළාත් සමාජ සේවා අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීපිකා ඩී. ඉලුක්කුඹුර සහ පළාත් සමාජ සේවා කොමසාරිස් චතුරි රත්නායක යන මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.














